යේමන යුද්ධය අවසන් කරන්න යෝජනාවක්



යේමන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කර ගත් නව යෝජනාව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අනුමැතියට යොමු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

යෝජනාව සම්මත වූයේ 247 ට 175 ක් ලෙසය. ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුවය. ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය ඇත්තේ සෙනෙට් මණ්ඩලයේය.

යේමන සිවිල් යුද්ධයට ඇමෙරිකාව සම්බන්ධ වී සිටින්නේ සෞදි රජයට සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ට සහාය දක්වමිනි. එහෙයින්, ජනපති ට්‍රම්ප් නිෂේධ බලය භාවිතයට ගනිමින්, එම යෝජනාවට විරෝධය දක්වනු ඇති බව ධවල මන්දිරය පවසා තිබේ.

යේමන අර්බුදය ආරම්භ වූයේ 2015 දීය. ඒ, යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් සෞදි හිතවාදී යේමන රජය පෙරළා දැමීමට ගත් උත්සාහයත් සමඟය. සෞදිය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ද සහාය ඇතිව යේමන හවුති කැරැලිකරුවන්ට ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද පහර දෙන්න විය. ඇමෙරිකාව සෞදියට සහාය පළ කරන්න වූයේ ප්‍රහාරය යානා ලබා දෙමින් සහ බුද්ධි තොරතුරු ලබා දෙමිනි.

සෞදි රජය යේමනයේ රෝහල් සහ පාසල්වලට ද ගුවනින් බෝම්බ හෙලා ඇති බවත් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 60,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් වාර්තා වේ. ඊට අමතරව, කුඩා දරුවන් 85,000 කට වැඩි පිරිසක් ආහාර සහ පානීය ජලය නොමැතිව පීඩාවට පත් වී සිටින බව ද පැවැසෙයි.

ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෙම කරුණු සැලකිල්ලට ගනිමින් නව යෝජනාව සකස් කර ඇත්තේ යේමන අර්බුදයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමේ අරමුණින්ය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS