යේමන දරුවන්ගේ අනාගතය අඳුරුයි



යේමනයේ ගැටුම් හේතුවෙන්, එරට දරුවන් මිලියන 4.5 දෙනකුගේ අනාගතය අවිනිශ්චිත යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

යේමන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර, වැටුප් නොලැබීම හේතුවෙන් පාසල්වල ඉගැන්වීම පවා යේමන ගුරුවරුන් ප්‍රතික්ෂේප කර ඇත.

ගැටුම් අවසන් වුණු පළාත් සහ නගරවල පාසල් යළි ආරම්භ වීමට නියමිතව තිබුණේ පසුගිය සැප්තැම්බර් 20 වැනිදාය. කෙසේ නමුත් ගුරුවරු ඉගැන්වීම් කටයුතු සඳහා නොපැමිණෙන බව ද පැවැසෙයි.

ඒ අනුව නිසි අධ්‍යාපනයක් දරුවන්ට නොලැබෙන බවත් එය යේමනයේ පැතිරෙන කොළරා වසංගත තත්ත්වයටත් වඩා බරපතළ බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවේ දැක්වෙයි.

යේමනයේ කොළරා තත්ත්වය ද ඉතා දරුණු ලෙස පැතිරෙමින් පවතී. කොළරා වසංගතය හේතුවෙන් 2,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද පැවැසෙයි. නූපන් බිළිඳන් රැසක් ද කොළරාවට බිලි වී ඇතැයි යුනිසෙෆ් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS