යුද්ධයකට යන්න කැමැත්තක් නැහැ



ඉරානය සමඟ අර්බදුයක් පවතින නමුත්, කිසිම අවස්ථාවක ඉරානය සමඟ යුද්ධයකට පැටලෙන්නේ නැති බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මේ බව කියා සිටියේ, රුසියාවේ මොස්කව් අගනුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූ අවස්ථාවේදීය. ඉරානය සමඟ හෝ වෙන කිසිදු රටක් සමඟ හෝ යුද වැදීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහසක් නැති බව පොම්පේඕ තහවුරු කළේය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සහ රුසියානු ජනාධිපති පුටින් අතරේ ජාත්‍යන්තර අර්බුද රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. එයින් එකක්, උතුරු කොරියා අර්බුදයයි. දෙවැනි කාරණාව වූයේ ඉරානය සහ ඇමෙරිකාව අතර නිර්මාණය වී ඇති අර්බුදයයි.

රුසියාවේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව රුසියාව ඇතුළු ලෝක බලවතුන් මැදිහත් වී ඇති කරගත් එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් කටයුතු කර තිබේ.

ඒ සමඟ ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනැවීය. එම සම්බාධක හේතුවෙන් ඉරානයට ඔවුන්ගේ තෙල් විකිණීමේ කටයුතු සිදු කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

ඇමෙරිකාව ඉවත් වුවත් සෙසු රටවල් සමඟ තමන් දිගටම ඉරානය සමඟ එක්වී සිටින බව රුසියාව බවසා තිබේ.

මේ අතර, ඉරාන උත්තරීතර නායක අල් කොමේනී පවසා ඇත්තේ ඉරානය ද කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ යුද්ධයකට පැටලෙන්නේ නැති බවය. ඇමෙරිකාව තමන් යුද්ධයකට පටලවා ගැනීමට උත්සාහ ගන්නා නමුත් තමන් කිසිසේත් ඊට ඉඩක් ලබා නොදෙන බව ඉරාන උත්තරීතර නායකයා ප්‍රතිඥා දී ඇත.

පසුගිය දා සෞදි සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තෙල් නැව් කීපයකට ප්‍රහාරයක් එල්ල විය. එය කඩාකප්පල්කාරී ප්‍රහාරයක් යැයි පැවැසෙයි. ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැති නමුත් චෝදනා එල්ල වන්නේ ඉරානයටය. ප්‍රහාරය එල්ල වූයේ සෝයූස් සමුද්‍ර සන්ධියේ සෞදි තෙල් ප්‍රවාහනයේ යෙදෙන නැව්වලටය.

එම ප්‍රහාරයට ඉරානය පටලවමින්, ඇමෙරිකාව ඉරානය සමඟ යුද්ධයකට යෑමට සූදානම් වන බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කර තිබේ.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS