යුද අපරාධ කළැයි සෞදියට චෝදනා



සෝමාලි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවකට යේමනයට ඔබ්බෙන් මුහුදේදී වෙඩි තැබුවේ යැයි සෞදියට මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයෙන් චෝදනා එල්ල වී තිබේ.

සෞදි හමුදාව මෙම බෝට්ටුවට පහර දී ඇතැයි පැවැසෙන්නේ පසුගිය මාර්තු 17 වැනිදාය. බෝට්ටුවට වෙඩි තබා ඇත්තේ එහි යේමනයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන හවුති කැරැලිකරුවන් සිටින බව සැක කරමිනි.

කෙසේ නමුත් වෙඩි ප්‍රහාරයට ලක්වී මියගිය 30 දෙනාත්, තුවාල ලැබූ 33 දෙනාත් සෝමාලි අනවසර සංක්‍රමණිකයන් බව පසුව තහවුරු විය. කුඩා බෝට්ටුවක් වුවත් වෙඩි ප්‍රාහරයට ලක් වෙද්දී එහි 145 දෙනකු සිට ඇතැයි ද වාර්තා වේ.

බෝට්ටුවේ සිට ඇත්තේ සෝමාලියාවේ අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සෝමාලියාවෙන් පාලා යමින් සිටි පිරිසකි. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු ඒ අතර සිට ඇතැයි ද පැවැසෙයි.

ඊට අමතරව යේමනයේ හවුති කැරැලිකරුවන්ට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් ද සෞදිය සහ ඊට සහාය දක්වන සෙසු අරාබි රටවල් යුද අපරාධ සිදු කරන බවට ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කර තිබේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS