යළි ගොඩනගන්න බිලියන 30 ක්



තෙවසරක යුද්ධයෙන් විනාශ වී ගිය ඉරාකය නැවත ගොඩනැගීම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 30ක මුදලක් ලබාදීමට මිත්‍ර රටවල් පොරොන්දු වී තිබේ.

කුවේට් රාජ්‍යයේ අගනුවර එක් රැස් වූ ඉරාකයේ මිත්‍ර රටවල දානපතියන් සහ ආයෝජකයන් ඉරාකය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදි මෙම තීරණය ගෙන තිබේ. අයි.එස් සටන්කාමීන් සමඟ පැවැති යුද්ධයෙන් පසු විනාශ වී ගිය ඉරාකයේ ආර්ථිකය සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා මෙලෙස මූල්‍ය ආධාර ලබාදීමට මිත්‍රරටවල ආයෝජකයෝ සහ දානපතියෝ එකඟතාව පළ කළහ. අයි.එස් සටන්කාමීන් ඉරාකයේ තුනෙන් එකක බලය අල්ලාගෙන සිටි අතර ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවල සහයෝගය ඇතිව සටන්කාමීන් පරාජයට පත් කිරීමට ඉරාක හමුදා සමත් විය.

“අද අපට තිබෙන්නේ මොනවාද සහ අපට අවශ්‍ය මොනවාද සසඳා බැලුවොත් අපට කිසිවක් නැති බව නොරහසක් නෙවෙයි. ඒ වගේම අපි දන්නවා අපිට අවශ්‍ය හැමදේම නොලැබෙන බවත් අපි දන්නවා” යැයි පුවත්පත් සාකච්ඡාවකදී ඉරාක විදේශ අමාත්‍ය ඊබ්‍රහිම් අල් ජෆාරි පැවැසීය.

ඉරාකය නැවත ගොඩනැගීමට අසමත් වුවහොත් එය අයි.එස් සටන්කාමීන් පරාජය කිරීමෙන් පලක් නොමැති බව එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. එලෙස අසමත් වුවහොත් එයින් සමාජ සහ ආර්ථික ප්‍රශ්න රැසක් ඇති වනු ඇති බවත් එය අයි.එස් ජිහාද්වාදීන්ට නැවත නැගි සිටීම ලබාදෙන අවස්ථාවක් බවත් එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් පෙන්වාදෙයි.
ඉරාකය නැවත ගොඩනැගීමට මූල්‍ය ආධාර ලබාදීමට මිත්‍ර රටවල් ගත් තීරණය ඉරාකය පමණක් නොව මැද පෙරදිග කලාපයේද සුවිශේෂී ජයග්‍රහණයක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පැවැසීය.

හර්ෂණ තුෂාර සිල්වා

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS