මෝසුල් වැසියෝ ලක්‍ෂයක් කොටුවෙලා



මෝසුල් පැරණි නගරයෙන් IS කැරලිකරුවන් පලවාහැර නැවත එය අත්පත් කරගැනීම සඳහා ඉරාක හමුදා දැඩි සටනක් ආරම්භ කර තිබෙන අතර මෙහි සාමාන්‍ය වැසියන් ලක්‍ෂයක් පමණ යුද්ධයට කොටුවී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

හැකියාවක් වේනම් එම ප්‍රදේශයෙන් වහාම ඉවත්වන ලෙස එක්සත් ජාතීන් සාමාන්‍ය ජනතාවට දැනුම්දී තිබේ.

ඉරාක හමුදාව පවසන්නේ සාමාන්‍ය වැසියන් මරණයට පත්වීම අවම කර ගැනීම සඳහා තම හමුදා සටන් කරමින් පටු මංමාවත් ඔස්සේ ඉතා සීරුවෙන් ඉදිරියට ඇදෙන බවය.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ අවසාන බළකොටුව ලෙස සැලකෙන්නේ මෝසුල් පැරණි නගරයයි.ඉරාක හමුදාව බීබීසී ලෝක සේවයට කියා සිටියේ මෝසුල් පැරණි නගරය තුළ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් කොපමණ ප්‍රමාණයක් සිටීදැයි තමන් නොදන්නා බවය.

මෝසුල් හි බටහිර ප්‍රදේශයේ පැවති සටනින් පසුගිය දෙසතිය ඇතුළත පමණක් සාමාන්‍ය වැසියන් 230 දෙනෙකු පමණ මරණයට පත්වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

ඇතැමුන් ගුවන් ප්‍රහාර සහ මෝටර් වෙඩි ප්‍රහාරවලට හසුවී මිය ගිය අතර තවත් පිරිසක් මරණයට පත්වී ඇත්තේ එම ප්‍රදේශයෙන් පලායාමට තැත් කරද්දී IS 'ස්නයිපර්' තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ලක් වීමෙනි.

දිවි බේරාගෙන පලා ආ පිරිස් පවසන්නේ කොටුවී සිටින ජනතාව ආහාර සහ පානීය ජලය නොමැතිව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවයමෝසුල් නගරය IS කැරලිකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා ඉරාක හමුදාව මෙම සටන ආරම්භ කළේ මීට මාස නමයකට ඉහතදී ය.පසුගිය ජනවාරියේදී මෝසුල් හි නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමට ඉරාක හමුදාවට හැකිවිය.

ඉරාක හමුදාව මෙම සටන දියත් කර ඇත්තේ තනිවම නොවේ. කුර්දි සටන්කරුවන්, සුන්නි මුස්ලිම් ගෝත්‍රිකයන් සහ ෂියා සටන්කරුවන් ද ඔවුනට එක්වී සිටිති.

ඊට අමතරව ඇමරිකානු ඒකාබද්ධ හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා සහ යුද උපදේශකවරුන්ගේ ද සහාය ඉරාක හමුදාවට ලැබී තිබේ.ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් මෝසුල් නුවර අත්පත් කර ගනු ලැබුවේ 2014 වසරේ ජුනි මාසයේදී ය.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS