මොසුල් අතහැර එන සිවිල් වැසියන්ට පහසුකම් සැපයීම ප්‍රශ්නයක් වෙලා



අයි.එස් ත්‍රස්තවාදීන්ගේ පාලනයේ පවතින මොසුල් නුවර අත්හැර පැමිණෙන සිවිල් වැසියන්ට පහසුකම් සැපයීමේ අරබුදයකට ඉරාක බලධාරීහූ මුහුණ දී සිටිති. ඉරාක හමුදා මොසුල් නුවර අත්පත් කරගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ දහස් ගණන් වැසියන් අයි.එස් ත්‍රස්ත පාලන ප්‍රදේශවලින් පැන එමින් සිටිති. 
මේ අතර ඉරාකයේ ගුරුවරයකු වන උමාර් සලාහ් අයි.එස් පාලන ප්‍රදේශවලින් පැන ආ සිවිල් වැසියන් වෙනුවෙන් ආහාර ඇතුළු අවශ්‍ය දෑ රැගෙන කඳවුරකට පැමිණීමද විදෙස් මාධ්‍යවල අවධානයට යොමු ව තිබිණි. 
කඳවුරේ සිටින ඥාතීන්ට අවශ්‍ය දෑ රැගෙන ඒම සඳහා ඉරාක හමුදා ගේට්ටු විවෘත කරන්නේ ඉඳ හිටය. සෑම දිනකම අයි.එස් ත්‍රස්තවාදීන්ගෙන් මිදී දහසකට ආසන්න සංඛ්‍යාවක් ඉරාක හමුදා සිටින ප්‍රදේශවලට පැමිණෙන බව වාර්තා වේ. 
ඇමෙරිකා එක්සත් ජනපදය 2003 වසරේදී ඉරාකයේ දියත් කළ මෙහෙයුමෙන් පසුව නැවත වරක් ඒ ආකාරයේම මෙහෙයුමක් දියත් කරමින් සිටියි. ඉරාක රජයේ හමුදාවලට ඇමෙරිකාවේ මෙන්ම කුර්දි ආරක්ෂක අංශවලට සහාය හිමිවෙයි. මොසුල් යනු අයි.එස් ත්‍රස්තවාදීන්ගේ පාලනයේ ප්‍රධානම ස්ථානයකි. 
මිලියන 1.2ක ජනතාවකට ශීත සෘතුව සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල ඇතුළු ද්‍රව්‍ය අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය දායකයන්ගේ ඉල්ලා ඇත.  මොසුල් හි ජනගහනයෙන් අඩකඩ වඩා වැඩි පිරිසක් මේ වනවිට නගරය අතහැර දමා පැමිණ ඇතැයි ද ශීත සෘතුව ආරම්භ වීමත් සමඟ ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි ද වාර්තා වේ.

RECOMMEND POSTS