මොර්සිගේ මරණය ගැන පුළුල් පරීක්ෂණයක් ඕනෑ



ඊජිප්තු හිටපු ජනාධිපති මොහොමද් මොර්සිගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී, පුළුල් පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ඇතුළු ඊජිප්තු රජයට දන්වා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින කාර්යාලයයි. වසර 6 ක් බන්ධනාගාරගතව සිටි මොර්සි දිනකට පැය 23 ක්ම අඳුරු කුටියක සිර කර තැබුණැයි පැවැසෙයි.

මොර්සිට දී ඇත්තේ, කෑමට නුසුදුසු තත්ත්වයේ ආහාරය. 2013 වසරේ සිට මේ දක්වා බන්ධනාගාරගතව සිටිද්දී මොර්සිට ඔහුගේ පවුලේ අය හමුවීමට ඉඩ ලබා දී ඇත්තේ තෙවරක් පමණි. මොර්සි​ට ඔහුට නියමිත ඖෂධ ලබා දීම නිසි ලෙස සිදු කර නොමැති බවත්, වෛද්‍යවරයකු වෙත ඔහු කිසිම අවස්ථාවක ඉදිරිපත් නොකර ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

මොර්සිගේ අකල් මරණයට ඊජිප්තු රජය වගකිව යුතු යැයි තුර්කිය ඇතුළු මුස්ලිම් රටවල් පමණක් නොව, මුස්ලිම් සංවිධාන පවා චෝදනා කර ඇත.

‘ආරංචි ලැබෙන විදියට හිටපු ජනපති මොර්සි යුද අපරාධකරුවකු මෙන් වධ බන්ධනයට ලක් කර තිබෙනවා. ඒත් මොර්සි ලක් කළ වධ බන්ධන යුද සිරකරුවන්ට පවා ලැබී නැහැ. හම වධ බන්ධය අමානුෂිකයි. ඒ නිසා අප ඊජිප්තු රජයයෙන් ඉල්ලීමක් කළා කඩිනමින් සාධාරණ පරීක්ෂණයක් පවත්වා අදාල පාර්ශ්වයන්ට ඒ සම්බන්ධයෙන් දඩුවම් දෙන්න’ යැයි මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින එ.ජා. කාර්යාලයේ ප්‍රකාශක රූපට් කෝවිල් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS