මොර්සිගේ දේහය ලහිලහියේ භූමදානය කරලා



නඩු විභාගය අතරතුරේ හෘදයාබාධයකට ලක් වී මියගිය ​ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමද් මොර්සිගේ දේහය ලහිලහියේ ඊයේ (18) පාන්දර භූමදානය කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

67 හැවිරිදි මොර්සි වසර 6 ක් කයිරෝ බන්ධනාගාරයේ සිරගත කර තැබුණේ වධ බන්ධන මධ්‍යයේය.

විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට පොලිසියට අණ දීම සහ කටාර් රාජ්‍යය වෙනුනේ ඊජිප්තුවට ද්‍රෝහි වෙමින් ඔත්තු බැලූ බවට ද මොර්සිට චෝදනා එල්ල වී තිබුණු අතර, එම චෝදනා සම්බන්ධයෙන් මොර්සි වැරදිකරුව වී සිටියේය.

මොර්සි නඩු විභාගය අතරතුරේ මියගියේ 17 වැනිදා සවසය.

අවසන් කටයුතු සිදුවූ බව පැවැසෙන්නේ කයිරෝ නුවර අල් වාෆා අල් අමාල් සුසාන භූමියේය. අවසන් කටයුතු සඳහා මොර්සිගේ පවුලේ අය සහභාගී වී ඇත.

මොර්සි නියෝජනය කළ මුස්ලිම් සහෝදරත්වය නමැති ඉස්ලාමීය දේශපාලන කණ්ඩායම් සාමාජිකයන් සියල්ල මිහිදන් කර ඇත්තේ මෙහි යැයි පැවැසෙයි.

මොර්සි අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඊජිප්තු හමුදා පාලකයන් මුස්ලිම් සහෝදරත්වය පක්ෂය ඊජිප්තුවේ තහනම් කළේය. එහි නායකයන් සහ ක්‍රියාකාරීන් බොහෝ දෙනකුට ජීවිතාන්ත සිරදඬුවම් හෝ මරණ දඬුවම හෝ හිමිවිය.

මොර්සි උපන් පළාත වන්නේ, නයිල් නිම්නයේ පිහිටි ෂර්කියා පළාතය. දේහය එම පළාතේ නයිල් නදි අසබඩ භූමදානය කිරීමට මොර්සිගේ පවුලේ අය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

බලධාරීන් ඊට තදින් විරුද්ධ වී ඇතැයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

අධිකරණ ශාලාවේ දී සිහිසුන් වී ඇද වැටුණු මොර්සි ටෝරා බන්ධනාගාර රෝහලට ගෙන ගොස් ඇත.

මොර්සි හෘදයාබාධයකින් මියගියේ යැයි වෛද්‍යවරු තහවුරු කළේ එම අවස්ථාවේදීය. බන්ධනාගාරයේ යාඥා කුටියේදී මොර්සි වෙනුවෙන් විශේෂ ආගමික කටයුතු සිදුවුණු බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS