මොකද වුණේ බි‍්‍රතාන්‍යය විමසයි



තුර්කියේ ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළුවීමෙන් පසු අතුරුදන් වූ සෞදි ජාතික ජන මාධ්‍යවේදියාට සිදුවූයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් සිය රට දැඩි අවධානයෙන් පසුවන බව බ්‍රිතාන්‍ය අවධාරණය කරයි.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිය රට ජනමාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සෞදි අරාබියෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බවයි.

දුරකතනය ඔස්සේ සෞදි විදේශ අමාත්‍ය අඩෙල් අල් ජුබීර් අමතමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් අනතුරු අඟවා ඇත්තේ මෙම සිද්ධියට අදාළව හුවමාරු වන තොරතුරු මත දෙරටේ මිත්‍රත්වය රඳා පවතිනු ඇති බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක්  කරමින් පවසන්නේ, ලොව පුරා ජනමාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩතවය ඉහළ යමින් පවතින බවත් එය ප්‍රකාශනයේ නිදහසට බරපතළ තර්ජනයක් වී ඇති බවත් ය.

ජමාල්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනයට වඩා දැඩි පිළිවෙතක සිට ක්‍රියා කරන බ්‍රිතාන්‍ය පවසන්නේ, ජනමාධ්‍යවේදියා ඝාතනය කර ඇති බවට පළ වන වාර්තා නිවැරදි වුවහොත් ඒ සම්බන්ධයෙන් සිය රට ඉතා බරපතළ අන්දමින් ක්‍රියා කරනු ඇති බවයි.

පසුගිය සතියේ අඟහරුවාදා ජමාල් සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහායි.

එලෙස කොන්සල් කාර්යාලයට ඇතුළු වූ ජමාල් ඛෂෝගි යළි ඉන් පිටතට නොපැමිණි අතර පසුව තුර්කි බලධාරීන් පැවසුවේ, ඔහු එහිදී ඝාතන කර ඇති බවත් කළු පැහැති වැන් රථයකින් සිරුර කොන්සල් කාර්යාලයෙන් ඉවතට ගෙන ගොස් ඇති බව ත් ය.

කෙසේ වෙතත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන සෞදි අරාබිය පවසන්නේ, ඛෂෝගි කොන්සල් කාර්යාලයට ඇතුළු වී සුළු වේලාවකින් ඉන් පිටව ගොස් ඇති බවයි.

ජමාල් සෙවීමේ විමර්ශන සඳහා සිය රටේ ද සහය හිමිවන බව සෞදි අරාබිය වැඩිදුරත් පවසයි.

එහෙත් තුර්කිය පවසන්නේ, කොන්සල් කාර්යාලයට ඇතුළු වූ ඛෂෝගි ඉන් පිටතට නොපැමිණි බව ත් ඔහු ඉන් ඉවතට පැමිණි බව සනාථ කිරීමට සෞදියට කිසිදු සාධයක් නොමැති බව ත් ය.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිය මිතුරු රටක් වන සෞදි ආරබියට පවසා ඇත්තේ, අතුරුදන් ජනමාධ්‍යවේදියා සෙවීමේ කටයුතුවලට සහය දක්වන ලෙසත් එම සහය විනිවිධ භාවයකින් යුක්ත විය යුතු බවයි.

මේ අතර එක්සත් ජාතීන් සංවිධානය පවසන්නේ, ඛෂෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රමුඛ ස්වාධීන සහ අන්තර්ජාතික විමර්ශනයක් සිදුවිය යුතුබවයි.

මේ අතර අතුරුදන් සිය අනාගත සහකරු සොයා ගැනීම සඳහා සහය වන ලෙස ඛෂෝගිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිස් අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇය Washington Postහි වාර්තාවක් පළ කරමින් පවසන්නේ, සිය අනාගත සැමියා සොයා ගැනීමට සහය වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනපති බිරිඳ මෙලිනා ට්‍රම්ප්ගෙන් ආයාචනාත්මකව ඉල්ලීමක් සිදු කරන බවයි.

මේ අතර තමන් සහ ජමාල් නුදුරේදි විවාහ වීමට සූදානමින් සිටි බවත් විවාහ මංගල්‍යයේ කටයුතු සිදුකරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදීමට සිදු වූ බවත් ය.

අමෙරිකාවට පැමිණීමට පෙර සෞදියේ පුවත්පතක මෙන්ම රූපවාහිනි නාලිකාවක ද සේවය කර ඇති ජමාල් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ විවේචකයෙකු ලෙස සැලකෙයි.

ජමාල්ගේ මිතුරන් කිහිපදෙනෙකු සෞදියේ අත්අඩංගුවට පත් වීමෙන් පසු ජමාල් පුවත් පත් තීරු ලිපිය අත්හිටවූ අතර පසුව ඔහු සෞදි අරාබිය අතහැර අමෙරිකාවට පැමිණ ඇති අතර අතුරුදන් වන විට ඔහු Washington Post පුවත්පතේ ජනමාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියාකරමින් සිටියේ ය.

කෙසේ වෙතත් ජමාල් කලක් සෞදි රජ පවුල හා සමීපව කටයුතු කළ අයෙකු වන අතර ඔහු වසර කිහිපයක් සෞදියේ ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කර තිබේ.

 

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස්


RECOMMEND POSTS