මිසයිල ප්‍රහාරයක් වැළැක්වුවා



රියාද් අගනුවරට ඉහළ අහසේදී බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් වැළැක්වීමට සෞදි අරාබියානු ගුවන් ආරක්ෂක බලකාය සමත්ව ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරාබියේ අගනුවර ඉහළ අහසේ දූම් වළාකුළු දක්නට තිබූ බවත් පිපුරුම් ශබ්ද තුනක් පමණ ඇසුණු බවත් එම මාධ්‍ය වාර්තාව දැක්විණි.

යේමනයේ හවුති කැරැලිකරුවන් මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ ගුවන් හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කරන බව කැරැලිකරුවෝ පවසති.

රජයේ හමුදාවලට සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවල සහාය හිමිවන අතර කැරැලිකරුවන් ඉරානයේ සහාය හිමිවේ.

පසුගිය මාසයේදී මිසයිලවල කොටස් වැදීමෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. යේමනය යුද්ධය නිසා සෞදි අගනුවරදී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ පළමු අවස්ථාව එය විය.

අවස්ථා කිහිපයකදීම යේමනයේ හවුත් කැරැලිකරුවන් සෞදි අරාබියේ රියාද් අගනුවර ඉල්ල කරගනිමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ අතර ඒවා ව්‍යර්ථ කිරීමට එරට ගුවන් ආරක්ෂක හමුදා සමත්විය. රියාද් අගනුවර ඉලක්ක කරගනිමින් මිසයිලයක් එල්ල වූ සිව්වැනි අවස්ථාව මෙය විය.

යේමන සිවිල් යුද්ධය ඇතිවූයේ 2015 වසරේදීය. සෞදි අරාබිය සහ ඉරානයට අමතරව තවත් ගල්ෆ් අරාබියානු රටවල් කිහිපයක් මෙම යුද්ධයට මැදිහත්ව සිටී. 

සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ පසුගිය තෙවසරක කාලයේදී යේමනයට ගුවන් ප්‍රහාර දහසකට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර පාසල්, වෙළෙඳපොළවල් සහ රෝහල් ඒවායේ ඉලක්ක බවට පත්විය. ප්‍රහාරවලින් සිවිල් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වූ නමුත් තමන් සිවිල් වැසියන් ඉලක්ක කර නොගන්නා බව සෞදිය දිගින් දිගටම ප්‍රකාශ කරයි. 

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS