මිලියන 5 කට උන්හිටිතැන් නෑ



අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන් හේතුවෙන් ඉරාක සිවිල් වැසියන් මිලියන 5 කට උන්හිටිතැන් අහිමිවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

අයි.එස්. (ඉස්ලාමික් ස්ටේට්) ත්‍රස්තවාදීන් ඉරාකයේ නගර එකිනෙක අල්ලා ගත්තේ 2014 වසරේදීය. ඔවුන්ගේ අගනුවර බවට පත්වූයේ මොසූල් නගරයයි.

ඉරාකයේ සිටින එක්සත් ජාතීන්ගේ මානව ක්‍රියාකාරියකු වන ලීස් ග්‍රාන්දේ පවසා ඇත්තේ ඉරාක සිවිල් වැසියන් මිලියන 5.4 කට උන්හිටිතැන් අහිමි කිරීමට අයි.එස්. ත්‍රස්තවාදීන් සමත් වුණු බවය.

උන්හිටිතැන් අහිමි වුණු එම පිරිස පසුගිය වසර තුනක කාලයේ සරණාගතයන් ලෙස සරණාගත කඳවුරුවල ජීවත් වූහ. අද වනවිට මොසූල් පමණක් නොව, සෙසු නගර පවා එකිනෙක ත්‍රස්තයන්ගෙන් මුදා ගැනීමට ඉරාක හමුදාව සමත් වී ඇත.

ඒ අනුව, යළි ගම්බිම් බලා පැමිණීමට ඉරාක වැසියන්ට අවස්ථාව ලැබී ඇත. එම වැසියන් වෙනුවෙන් සියලු පහසුකම් ලබා දීමට පියවර ගන්නා බව ඉරාක රජය ප්‍රතිඥා දී තිබේ.

අද වනවිට අයි.එස්. ත්‍රස්ත සංවිධානය දැඩි පසුබෑමකට ලක් වී සිටී. ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඉරාක සිරියානු දේශසීමාවේ පළාත් කිහිපයක පමණි.

සිරියානු රජය ද එරට අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාර එල්ල කරයි. අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී ඉරානය සිරියානු රජයටත් ඉරාක රජයටත් සහාය දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS