මැදපෙරදිග තෙල්වලින් පමණක් යැපෙන්නේ නෑ



ඇමෙරිකාව තෙල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණ සිටින හෙයින්, මැදපෙරදිග තෙල් ඇමෙරිකාවට තව දුරටත් අත්‍යාවශ්‍ය නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවකදී පැවැසීය.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, පසුගිය සෙනසුරාදා (14) සෞදි රජයට අයත් ඇරැම්කෝ තෙල් සමාගමේ තෙල් ගබඩා සංකීර්ණ දෙකක් ඩ්‍රෝන යානා ප්‍රහාරවලින් විනාශ වීමත් සමඟය. එම ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූයේ අසල්වැසි යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන්ගෙනි. හවුති කැරැලිකරුවන් ප්‍රහාරයේ වගකීම බාර ගෙන ඇත. ඇමෙරිකා බුද්ධි අංශ පවසා ඇත්තේ ප්‍රහාරය පසුපස සිටින්නේ ඉරානය බවය. ඇමෙරිකාවෙන් එල්ල වන චෝදනා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරයි.

තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථානවලට එල්ල වුණු ප්‍රහාරවලින් පසු, තම තෙල් නිෂ්පාදන කටයුතු අඩපණ වී ඇති බවත්, ඒ අනුව ලෝක තෙල් මිල ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. ගෝලීය තෙල් මිල ඉහළ යෑමෙන් ඇමෙරිකාවට බලපෑමක් සිදු නොවන බව ඒත්තු ගැන්වීමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුව කැඳවා තිබුණි. ඇමෙරිකන් තෙල් සමාගම් මේ වනවිටත් අමතරව තෙල් බෙදා හැරීම් සිදු කරන බව ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඇරැම්කෝ සමාගමට අයත් තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ වී ඇත. ප්‍රහාරයෙන් පසු පිපිරීම් සහ ගිනි ගැනීම් හට ගත්තේය. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය ගණනක් මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුවිය.

ප්‍රහාර හේතුවෙන් තෙල් බැරල් මිලියන 6 ක ප්‍රමාණයක් අහිමි වුණු බව සෞදි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ අනුව, ගෝලීය තෙල් මිල ඉහළ ගියත්, එය යළි ස්ථාවර තත්ත්වයකට පත් වනු ඇති බව සෞදි බලශක්ති ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පවසා තිබේ. ප්‍රහාරයෙන් විනාශ වුණු තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථාන යළි ඉදිකකිරීම ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා කාලයක් ගත වනු ඇති බවත් සෞදි බලශක්ති ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

ලෝක තෙල් වෙළෙඳපොළට විශාල වශයෙන් බලපෑම් එල්ල වූයේ 1990 වසරේ පළමු ගල්ෆ් යුද සමයේදීය. පළමු ගල්ෆ් යුද්ධයට මුල් වූයේ ඉරාක හමුදා කුවේටය ආක්‍රමණය කිරීමය. යම් හෙයකින් ඇමෙරිකාව, සෞදිය සහ ඉරානය යුද්ධයකට පැටලුණොත්, එවැනි තත්ත්වකට ලෝකයට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS