මහ ඉහළින් පිළිගැනීමක්



එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී, ජාත්‍යන්තරයේ ප්‍රසාදය දිනා ගනිමින්, යළි පැමිණි, කටාර් එමීර්වරයාට කටාර් වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

දෝහා ගුවන්තොටුපොළට පැමිණි කටාර් එමීර්වරයා පිළිගැනීමට රජයේ නියෝජිතයන් පමණක් නොව, සිය ගණනකට වැඩි කටාර් වැසියෝ පිරිසක් පැමිණ සිටියහ. ඔවුහු ‘තමීම්ට අපි ආදරෙයි’ යැයි කියමින්, බැනර් අතැතිව ප්‍රීතිඝෝෂා පවත්වන්න වූහ.

ඊට අමතරව කටාර් එමීර්වරයා වෙනුවෙන් උත්සහ ගණනාවක් සංවිධානය කර තිබුණි. විශේෂ දේව යාඤ්ඤා මෙහෙයයන් කිහිපයක් ද ඊට ඇතුළත් විය.

එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වෙමින්, කටාර් එමීර්වරයා එම සමුළුව ඇමැතුවේය. ඒ, සමුළුවේ ආරම්භක සැසිවාරයේදීය. එය ඓතිහාසික සිදුවීමක් විය.
තම රටේ විදෙස් ප්‍රතිපත්තිවලට විරෝධය පාමින්, සෞදිය ප්‍රමුඛ සෙසු රාජ්‍යයන් වන බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව එක් වී, තම රටට පැනැවූ සම්බාධක අසාධාරණ බවත්, එම සම්බාක ඉවත් කිරීමට ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි මගින් තම රටේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බවත් කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී කියයි.

කටාර් එමීර්වරයා මෙසේ කියා සිටියේ එක්සත් ජාතීන්ගේ 72 වැනි මහාස මණ්ඩල සැසිය අමතමිනි.

තම කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් නිර්මාණය වුණු අර්බුදය විසඳීම සාකච්ඡා මාර්ගයෙන් පමණක් කළ යුතු බවත් එසේ සාකච්ඡා කළ යුත්තේ කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වයට ගරු කරමින් බවත් කටාර් එමීර්වරයා කරුණු පැහැදිලි කළේය.

කටාර් වැසියන් පීඩාවට පත් කිරීමේ අරමුණින් සෞදිය ප්‍රමුඛ රටවල් පැනැවූ සම්බාධක අසාධාරණ බව ද කටාර් එමීර්වරයා මහා මණ්ඩල සැසියට එක් වුණු සෙසු රටවල නියෝජිතයන් හමුවේ කියා සිටියේය.

කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, නිව්යෝක් නුවර පැවැති ජගත් මහ සමුළුවට සහභාගීවීමට යෑමට පෙර තුර්කියේත් ඉන්පසු ජර්මනියේත් ප්‍රංශයේත් සංචාරය කළේය.

එහිදී තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට කටාර් එමීර්වරයාට මෙම විදේශ සංචාර ඉවහල් විය. එය ද ඔහු ලැබූ ජයක් යැයි කටාර් වැසියෝ පෙන්වා දෙති.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS