බැග්ඩෑඩයට ඇඳිරි නීතිය



ඉරාක රජයට එරෙහි විරෝධතා පවත්වන විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ, බැග්ඩෑඞ් අගනුවරට ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන්ට සිදුවිය.

යුද ගැටුම් හේතුවෙන් වැනසුණු ඉරාකයේ විරැකියාව සහ ධරිද්‍රතාව ඉහළ ගොස් ඇති අතර, යටිතල පහසුකම් නොමැතිව ඉරාක වැසියෝ පීඩාවට පත් වී සිටිති. ඒ අතරේ රජයේ වංචා දූෂණ ද ඉහවහා ගොස් ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා නගති.

කලහකාරී ලෙස හැසිරුණු පිරිස් මර්දනයට පොලිසියට සහ හමුදාවට උපරිම බලය භාවිත කිරීමට සිදුවුණු බව පැවැසෙයි. ආරක්ෂක සාමාජිකයන් අතර පැවැති ගැටුම් හේතුවෙන් ඉරාක වැසියෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ.

බැග්ඩෑඞ් අගනුවර පමණක් නොව, ඉරාකයේ සෙසු ප්‍රධාන නගරවලද විරෝධතා පැවැත්වෙයි. එම නගරවලද ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පැවැසෙයි. ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ප්‍රදේශවල දුරකතන සහ අන්තර්ජාල සේවා අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

විරෝධතා පැවැත්වෙන්නේ අබ්දෙල් අබ්දුල් මහ්දී අගමැති ධුරයට පත් වී වසරක් ගත වෙද්දීය. රට ඉදිරියට ගෙන යමින්, ශක්තිමත් නායකත්වයක් දීමට අගමැති මහ්දිට හැකියාවක් ලැබී නැතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බැග්ඩෑඩයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS