බ්‍රසීල තානාපති කාර්යාලයත් ජෙරුසලමට



ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනිමින්, බ්‍රසීල තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමට බ්‍රසීලයේ නව ජනාධිපති ජායිර් බොල්සොරානෝ ගත් තීරණය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ පැසැසුමට ලක් වී ඇත.

ඊශ්‍රායල අගමැතිවරයා මේ වනවිට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර නිල සංචාරයක නියැලී සිටී. බ්‍රසීලයට පැමිණි පළමු ඊශ්‍රායල අගමැතිවරයා වන්නේ ද බෙන්ජමින් නෙදන්යාහුය. බ්‍රසීලයට පැමිණි ඊශ්‍රායල අගමැතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ කටයුතු කළේය.

බ්‍රසීලයේ යුදෙව් ප්‍රජාව හමුවී, ඔවුන් අමතා විශේෂ දේශනයක් පැවැත් වූ ඊශ්‍රායල අගමැතිවරයා, තානාපති කාර්යාලය මාරු කිරීමට බ්‍රසීල ජනාධිපති බොල්සොරානෝ ගත් තීරණය පැසැසුමට ලක් කළේය.

බ්‍රසීලය ඊශ්‍රායලයේ සමීප මිතුරකු බවත්, බ්‍රසීල ජනාධිපතිවරයා ගත් මෙම තීරණය මුල්කොට ගනිමින්, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවත් වර්ධනය වූ බවත් ශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පැවැසීය.

ඊශ්‍රායලයේ සංචාරයකට පැමිණෙන්නැයි අගමැති නෙදන්යාහු, බ්‍රසීල ජනාධිපතිවරයාට ඇරැයුම් කළ අතර, ජනපතිවරයා එම අරැයුම ඉතා ගෞරවයෙන් පිළිගත්තේය. බ්‍රසීල ජනාධිපතිවරයා ලබන මාර්තු මාසයේ ඊශ්‍රායලය බලා යනු ඇතැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS