බ්ලැක් පැන්තර් සෞදියේ



වසර 40 ක සිනමා සහ සිනමාශාලා තහනම ඉවත් කරමින් සෞදි අරාබිය පසුගිය (18) එරට පළමු වාණිජ සිනමාශාලව විවෘත කළ අතර, සිනමා හලේ ප්‍රදර්ශනය කෙරුණු පළමු චිත්‍රපටය ‘බ්ලැක් පැන්තර්’ ය.

සාම්ප්‍රදායික මුස්ලිම් රාජධානියක් වන සෞදි අරාබිය නවීකරණය කිරීමේ එරට ඔටුන්න හිමි කුමරුගේ වැඩසටහන යටතේ එලෙස සිනමාශාලා ඉදි කිරීම සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන ලදි.

සිනමා ශාලාව විවෘත කිරීම වෙනුවෙන් සුවිශේෂී උත්සවයක් සංවිධානය කර තිබූ අතර රතු පලසක් ද විය. මෙම උත්සවයට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විදේශීය නිලධාරීන් සහ අමුත්තන්, සිනමා කර්මාන්තයේ යෙදෙන තෝරාගත් පිරිස් ඇතුළු අමුත්තෝ රැසක් මෙම උත්සවයට එක්වූහ.

චිත්‍රපට ශාලාවේ ප්‍රදර්ශනය කෙරුනු පළමු චිත්‍රපටය ‘බැලැක් පැන්තර්’ මේ වනවිට ලොව බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවා අවසන්ය. චිත්‍රපටය පසුගිය සිකුරාදා (20) මහජන ප්‍රසිද්ධිය සඳහා ආරම්භ කරන ලද අතර ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ වූයේ පසුගිය බ්‍රහස්පතින්දාය (19) සිටය.

ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදිය තෙල් මත යැපීමට අමතරව එරට ආර්ථිකය නවීකරණය කිරීම සඳහා එරට ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් කුමරු ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ඉදිරිපත් කර තිබේ. සිනමාශාල විවෘත කිරීම එම වැඩසටහනේ සුවිශේෂී සංධිස්ථානයකි.

තිස් දෙහැවිරිදි වියේ පසුවන සෞදියේ ඔටුන්න හිමි කුමරු පසුගිය වසර දෙකක කාලයේදී කාන්තාවන්ට රිය පැදවීම, ප්‍රසිද්ධ උත්සව, සංගීත ප්‍රසංග යනාදියට සහභාගීවීමට පනවා තිබූ තහනම් ඇතුළු තවත් සීමා කිහිපයක්ම ඉවත් කිරීමට කටයුතු කළේය. සිනමා ශාලාව විවෘත කිරීමට අමතරව අප්‍රේල් දෙවැනි සතියේදී විලාසිත දැක්මක් ද පැවැත්විණි. එය සෞදි රාජධානියේ පැවැති කාන්තාවන් පමණක් සහභාගී වූ පළමු විලාසිතා දැක්ම විය.

හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්)

 


RECOMMEND POSTS