බහරේන් සමුළුවට විරෝධයක්



ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් ලෙස ට්‍රම්ප් පරිපාලනය සකස් කළ ‘සාම සැලැස්ම’ එළිදැක්වීමේ විශේෂ සමුළුව, අද (25) බහරේනයේ මනාමා අගනුවරදී ආරම්භ විය.

සමුළුව දෙදිනක් පුරා පැවැත්වෙයි. ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය විසඳීමේ අරමුණින් ජනපති ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි, මෙම සාම සැලැස්ම සකසා ඇත්තේ ජෙරාඞ් කුෂ්නර් ප්‍රමුඛ කණ්ඩායමය.

කුෂ්නර් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාගේ සැමියාය. කුෂ්නර් මෙන්ම ඉවන්කා ද ට්‍රම්ප්ගේ උපදේශකවරු ලෙස කටයුතු කරති.

ඊශ්‍රායල රජයේ නියෝජිතයන් පමණක් නොව, කලාපීය අරාබි රටවල නියෝජිතයෝ ද මනාමා සමුළුවට සහභාගී වීමට නියමිතව සිටියහ. කෙසේ නමුත්, පලස්තීන පාලන අධිකාරිය සමුළුව වර්ජනය කරන බව පැවැසීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායල හිතවාදියෙකි. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නිල වශයෙන් නම් කිරීමට ද ජනපති ට්‍රම්ප් පියවර ගෙන ඇත. මෙය පලස්තීනුවන්ගේ පමණක් නොව, ලොව මුස්ලිම් සහ මුස්ලිම් නොවන රටවල ද දැඩි විරෝධයට හේතුවක් විය.

ඇමෙරිකා ට්‍රම්ප්ට විරෝධය පළ කරමින්, ට්‍රම්ප් විසින් හඳුන්වා දෙනු ලබන කිසිදු ආකාරයේ සාම සැලැස්මකට තමන් එකඟ නොවන බව පලස්තීනුවන් පවසා ඇත. මනාමා සමුළුවට විරෝධය පළ කරමින් බටහිර ඉවුරේ පලස්තීන විරෝධතා පැවැත්වුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රාමල්ලාහිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS