බහරේන ඊශ්‍රායල සබඳතා ඇරඹෙයි



බහරේනයත් ඊශ්‍රායලයත් අතර රාජ්‍ය නාත්න්‍රික සබඳතා ආරම්භ විය. ඒ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි.

බහරේනය සහ ඊශ්‍රායලය අතර රජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමට තමන් මැදිහත් වූ බවත් තම විශේෂ උපදේශක ජෙරාඞ් කුෂ්නර් ඇතුළු නියෝජිත කණ්ඩායම ඒ සඳහා යෙදවුණු බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුම් සෙවීමටත්, මැදපෙරදිග කලාපයේ කටයුතු සොයා බැලීමටත් පත් කළ ජෙරාඞ් කුෂ්නර්, ට්‍රම්ප්ගේ බෑණාය. කුෂ්නර් පමණක් නොව, ඔහුගේ බිරිඳ මෙන්ම ට්‍රම්ප් දියණිය ඉවන්කා ද උපදේශකවරියක ලෙස කටයුතු කරන්නීය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ බහරේන් රජු හමාද් බින් ඊසා අල් කලීෆා අතර දුරකතන සාකච්ඡාවක් පැවැත්වුණු බවත්, එහිදී රාජ්‍ය නාත්න්‍රික සබඳතා වර්ධනය කර ගැනීමට කැමැත්ත පළවුණු බවත් ට්‍රම්ප් පළමුවෙන් පැවැසුවේ ඊයේ (11) ට්විටර් පණිවුඩයකිනි.

යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලය සහ කලාපීය මුස්ලිම් රටවල් අතර නොහොඳනෝකඩු පවතින්නේ, පලස්තීනුවන් මුල්කොට ගනිමිනි. කලාපීය මුස්ලිම් රටවල් මුස්ලිම් පලස්තීනුවන් වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙයි.

එහෙයින්, ඊශ්‍රායලය සමඟ සබඳතා පවත්වන්නේ ඊජිප්තුව සහ ජෝර්දානයයි. පසුගිය දා ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතරේ ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තර විය. එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතරත්, බහරේනය සහ ඊශ්‍රායලය අතරත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භවීම සම්බන්ධයෙන් පලස්තීනුවන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත්, බහරේනයත් තමන් පවා දුන්නා යැයි පලස්තීන පාලන අධිකාරිය පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS