බටහිර ඉවුරේ ජනාවාස සාමයට බාධවක් : ඊශ්‍රායාලට එක්සත් ජාතීන්ගේ විරෝධය




බටහිර ඉවුරේ තවදුරටත් ජනවාස ඉදිකිරීමට ඊශ්‍රායලය ගෙන ඇති තීරණයට එක්සත් ජාතීන්ගේ සංවිධානය තම විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. 

මේ අතර මැද පෙරදිග සාම සමුළුව වර්ජනය කිරීමට ද ඊශ්‍රායලය කටයුතු කර තිබිණි. රාජ්‍ය දෙකක විසඳුමක් සෙවීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ඊශ්‍රායල හා පලස්තීන නියෝජිතයන් සහභාගි වීමට නියමිතව තිබිණි. මෙම සමුළුවට රටවල් හා ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් 70කට වැඩි පිරිසක් සහභාගී නියමිත යැයි ද වාර්තා විය. 

රාජ්‍ය දෙකක් අතර සාමය ගොඩනැගීමට ඒකපාර්ශවීය තීරණ බාධාවක් යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විරෝධය පළ කරමින්, එම සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස්ගේ ප්‍රකාශක  ස්ටෙෆාන් ඩුජාරික් පැවැසීය. 

නිවාස අවශ්‍යතාවට පිළියමක් ලෙස ඊශ්‍රායලය යුදෙව් ජනාවාසවල තවත් නිවාස 2,500ක් ඉදි කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පසුගිය අඟහරුවාදා පැවැසීය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායල බලධාරීන් එවැනි ප්‍රකාශයක් කළ දෙවැනි අවස්ථාව මෙය විය.   

අනාගත රාජ්‍යයක් උදෙස තිබෙන විශ්වාසය මෙවැනි ක්‍රියා හේතුවෙන් බිඳ වැටෙන බවත් මෙවැනි ප්‍රකාශ හා තීන්දු තීරණ සාමයට බාධාවක් බවත් ඊශ්‍රායාලයේ තීරණයට ප්‍රතිචාර දක්වමින් පලස්තීන බලධාරීහූ ප්‍රකාශ කරති. 

“රාජ්‍ය දෙකක විසඳුමකට බී සැලැස්මක් මහලේකම් ළඟ නැහැ” යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක  ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශ කළේය. 

“ඒකපාර්ශවීක තීරණ රාජ්‍ය දෙකක අරමුණ කරා යන්න බාධාවක්. මහලේකම්වරයා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටිනවා” යැයි ද ස්ටෙෆාන් ඩුජාරික් කීය.

“පාර්ශව දෙකම අවංකව සාකච්ඡාවල නිරත වීමේ අවශ්‍යතාවක් තිබෙනවා. රාජ්‍ය දෙකක ඉලක්කය වෙත ගමන් කිරීමට එය අත්‍යාවශයයි. ඊශ්‍රායලත් පලස්තීනයත් රාජ්‍ය දෙකක්. ජනතාව සඳහා රාජ්‍ය දෙකක්” යැයි ද ස්ටෙෆාන් ඩුජාරික් කීවේය. 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද මෙම ජනවාස ඉදිකිරීම්වලට සහාය වනු ඇතැයි පැවසේ. හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඊශ්‍රායලය කරන ජනාවාසවලට සහාය දැක්වීය. ජනාවාසවලට සහාය දක්වන තානාපතිවරයකු ඊශ්‍රායලට පත් කිරීමට ද ඇමෙරිකා ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි. 

ඊශ්‍රායලය කරන ලද ජනාවාස කඩිනමින් ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට එරෙහිව නිෂේද බලය භාවිත නොකිරීම සම්බන්ධයෙන් ද ඩොනල්ඞ් ට්‍රම්ප් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා චෝදනා එල්ල කළේය. 

වසර 1967 දී ඊශ්‍රායලය බටහිර ඉවුරත් නැගෙනහිර ජෙරුසලමත් අත්පත් කරගැනීමෙන් පසු මේ දක්වා කාලයේදී ජනාවාස 140කට වැඩි ප්‍රමාණයක් ඉදි කර ඇති අතර 500,000ක් පමණ දෙනා එහි ජීවත් වෙති. 

ජාත්‍යන්තර නීතිය යටතේ මෙම ජනාවාස නීති විරෝධී යැයි සැලකුණද ඊශ්‍රායලය එය නොපිළිගනියි. 

 

බී.බී.සී ඇසුරිනි

ඡායාරූප රොයිටර්/එක්සත් ජාතීන්ගේ සංවිධාන වෙබ් අඩවිය

 


RECOMMEND POSTS