පුටින් සිරියාවේ



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිරියාවේ ඩමැස්කස් අගනුවරට ගොස්, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් හමුසී සාකච්ඡා පැවැත්වීය. රුසියා ජනාධිපතිවරයා සිරියාව බලා ගියේ ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇති අවස්ථාවකය.

මීට වසර 9 කට පමණ පෙර, සිරියානු අර්බුදය ආරම්භ වූ අවස්ථාවේදීත්, ඉන්පසු අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් එරට හිස එසවූ අවස්ථාවේදීත් රුසියාවේ සහාය සිරියානු ජනාධිති බෂාර් අල් අසාද්ගේ රජයට සහ රජයේ හමුදාවය හිමිවිය. ඊට ප්‍රධානතම හේතුව රුසියානු හමුදා කඳවුරක් සිරියාවේ පිහිටා තිබීමය. මැදපෙරදිග කලාපයේ පිහිටි එකම සිරියානු හමුදා කඳවුර මෙයයි.

රුසියානු හමුදා සිරියානු හමුදා සමඟ එක් වී අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදුණේ 2015 වසරේ සිටය. රුසියානු ජනාධිපති පුටින් මීට පෙර ද එක් අවස්ථාවක සිරියාවට පැමිණ ඇත. කෙසේ නමුත් ඔහු ඩමැස්කස් අගනුවරට පැමිණි පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සිරියානු රජයට එරට ක්‍රියාත්මක වූ අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට හැකිවූයේ රුසියාවෙන් පමණක් නොව ඉරානයෙන් ද ලැබුණු හමුදා සහාය හේතුවෙනි. සිරියානු රජයට සහ හමුදාවට සහාය දැක්වූයේ ඉරාන විප්ලවීය හමුදාවේ ‘කුද්ස්’ බළඇණියයි. ඇමෙරිකා හමුදා විසින් ඝාතනය කරනු ලැබූ මේජර් ජනරාල් කසීම් සුලෙයිමානී නායකත්වය දුන්නේ මෙම බළඇණියටය.

මේජර් ජනරාල් කසීම් සුලෙයිමානී, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සමීපතම මිතුරෙකු විය. අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජයේ හමුදා මෙහෙයවූයේ ද සුලෙයිමානී යැයි පැවැසෙයි. සුලෙයිමානී ඝාතනයට ලක් වූ අවස්ථාවේදී සිරියානු ජනාධිපති අසාද් ඇමෙරිකාවට සිය විරෝධය පළ කළේය.

ඝාතනයට ලක් වුණු ජනරාල් සුලෙයිමානී, රුසියාවේ ද හිතවතෙකි. ඝාතනය සිදුවුණු අවස්ථාවේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉරාන රජයටත් එරට වැසියන්ටත් සොව පළ කරමින් කියා සිටියේ, සුලෙයිමානී දේශප්‍රේමියකු බවත්, ඔහුගේ අඩුව ඉරානයට විශාල පාඩුවක් බවත් රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඇමෙරිකාව සහ ඉරානය අතර යුදමය තත්ත්වයක් හටගත්තොත්, නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඇමෙරිකාවට සහාය දක්වමින් ඉරානයට පහර දුන්නොත්, තමන් ඉරානයට සහාය දක්වමින් එම යුද්ධයට මැදිහත් වන බව රුසියාව සහ සිරියාව පවසා ඇත.

ඩමැක්ස්කස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS