පුටින් ඉරානයේ



සිරියාවට සාමය උදාකිරීම වෙනුවෙන් මැදහත් වී, කැපවීමෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති හසන් රොව්හානිට ප්‍රසංශා කළේය.

රුසියානු ජනාධිපති, ඉරාන ජනාධිපතිවරයාට මෙසේ ප්‍රසංශා කළේ ඉරානයේ තෙහෙරාන් නුවර සංචාරයකට පැමිණි අවස්ථාවේදී යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

පුටින් ඉරානයට පැමිණියේ ඉරානයේ පැවැති ආර්ථික සහ වෙළෙඳ සමුළුවකට සහභාගීවීමටය. එම සමුළුවට අසර්බයිජානයේ ජනාධිපති ඉහාම් අලියේව් ද එක් විය.

සිරයානු අර්බුදයේදී රුසියාව මෙන්ම ඉරානය ද සහාය දක්වන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයේ පාර්ශ්වයටය.

මේ වනවිට රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂය සහ සන්නද්ධ ත්‍රස්ත සංවිධාන මර්දනය කිරීමට හැකිවී ඇත්තේ ද රුසියාවේ සහ ඉරානයේ සහාය ලැබෙන නිසාය.

රුසියාව සහ ඉරානය අතර ශක්තිමත් බැඳීමක් පවතින බවත් එම බැඳීම තව තවත් තහවුරු කර ගැනීමට රුසියන් ජනපති පුටින්ගේ මෙම සංචාරය ඉවහල් වුණු බවත් ඉරාන ජනාධිපති හසන් රොව්හානි මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ඉරානය සමඟ ආයෝජන වැඩි කර ගැනීමේ අරමුණ ඇතිව පුටින්, ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුවේය. රුසියානු ජනාධිපති පුටින්, මේ අයුරින් ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණියේ 2015 වසරෙන් පසුව යැයි ද පැවැසෙයි.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS