පිරිමි වෙස් අරන්



පිරිමින් ලෙස සැරසෙමින් පාපන්දු තරගයක් නැරැඹීට ගිය තරුණියන් පස් දෙනකු සම්බන්ධ පුවතක් ඉරානයෙන් වාර්තා වේ.

ඉරානය යනු දැඩි ඉස්ලාමීය නීතිරීති පවත්වාගෙන යන රටකි. ඉරාන විප්ලවයෙන් පසු එරට බොහෝ නීතිරීති වෙනස් වූ අතර කාන්තාවන්ට පාපන්දු තරගවලට සහභාගීවීම හෝ ඒවා නැරැඹීට පැමිණීම තහනම් කරන ලදි. ඒ අනුව විප්ලවය සිදු වූ 1979 වසරේ සිට එම තහනම ක්‍රියාත්මක වේ.

මෙම තරුණියන් පස්දෙනා එම තහනම නොතකා තෙහ්රානයේ අසාදි පාපන්දු ක්‍රීඩාංගනය පැමිණ තිබෙන අතර ඔවුන් පිරිමි ඇඳුමින් සහ බොරු රැවුල් හා කොණ්ඩාවලින් සැරැසී සිටින අයුරු දක්වෙන ඡායාරූප පෙළක් බි්‍රතානයයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

‘පර්සියන් ගල්ෆ් ප්‍රෝ ලීගය’ යටතේ පැවැති පාපන්දු තරගයක් නැරැඹීමට එම තරුණියන් පැමිණ තිබිණි.

මෙම තරුණියන් පිරිමින් ලෙස ඇඳ පැළඳ සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර ඒවාට යහපත් ප්‍රතිචාර රැසක් ලැබී තිබිණි.

‘යම් දවසක ඔවුන්ට ඔවුන්ගේ සැබෑ අනන්‍යතාව යටතේ පාපන්දු ක්‍රීඩාංගනවලට පැමිණීමට අවස්ථාව ලැබෙනු ඇත’ යනුවෙන් එම ඡායාරූප සම්බන්ධයෙන් දැක්වූ අදහසක විය.

මෙම තරුණියන් අත්අඩංගුවට නොගත් ඔවුන් රැඳවුම් භාරයේ සිටින බවත් ඉරාන රජයේ නිලධාරීහු පැවැසූහ.

මේ ආකාරයෙන් තරුණියන් හා කාන්තාවන් පිරිමින් ලෙස ඇඳ පැළඳ ක්‍රීඩාංගනයකට පැමිණි පළමු අවස්ථාව මෙය නොවන බව තෙහ්රාන් නගර සබාවේ ආරක්ෂක ප්‍රධානි අලිරේසා අදේලි පැවැසීය.

“තරුණියන් මීට පෙරත් ක්‍රීඩාංගනයට ඇතුළුවීමට උත්සාහ කර තිබෙනවා” යැයි හෙතෙම කීය.  

හර්ෂණ තුෂාර සිල්වා

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS