ප්‍රහාරය ඇමෙරිකා-සෞදි කුමන්ත්‍රණයක්



ඉරාන පාර්ලිමේන්තුවට සහ උත්තරීතර නායක අල් කොමේනිගේ සොහොන් ගැබට පහර දුන් අයි.එස්. ත්‍රස්තවාදීන් මෙහෙයවා ඇත්තේ ඇමෙරිකාව සහ සෞදි අරාබිය විය හැකි යැයි ඉරාන ආරක්ෂක අංශ චෝදනා කරයි.

කෙසේ නමුත් මෙම චෝදනා ඔප්පු කිරීමට තමන්ට මෙතෙක් සාක්ෂි ලැබී නැතැයි ද ඉරාන ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.

අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම් දෙකක් ඉරානයේ තෙහෙරාන් අගනුවර ස්ථාන දෙකකට පහර දුන්හ. එය ඉතා හොඳින් සැලැසුම් කළ ප්‍රහාර දෙකකි. එම ස්ථාන දෙක නම්, ඉරාන පාර්ලිමේන්තුව සහ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ සොහොන් ගැබය.

ගිනි අවි සහ බෝම්බ කබා සඟවා ගනිමින්, පාර්ලිමේන්තුවට කඩා වැදුණේ සිවු දෙනකුගෙන් සමන්විත ත්‍රස්ත කණ්ඩාමකි. ඔවුහු බෝම්බ කබා පැළැඳ සිටියහ. කාන්තාවක ද ඒ අතර සිටියේ යැයි පැවැසිණි. පිරිස පාර්ලිමේන්තුවටු කඩා වැදුණු අවස්ථාවේදී පාර්ලිමේන්තු සැසියක් පැවැත්විණි. ත්‍රස්තයන්ගේ ප්‍රහාරවලින් මැති ඇමැතිවරුන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව ඉරාන ආරක්ෂක අංශ පසුව නිවේදනය කළේය.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රහාරය එල්ල වෙද්දී, ඉරාන උත්තරීතර නායක අයතොල්ලා රුහොල්ලා කොමේනීගේ සොහොන් ගැබට වෙඩි ප්‍රහාරයක් සහ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. සොහොන් ගැබ පිහිටා ඇත්තේ පාර්ලිමේන්තුවේ සිට කිලෝ මීටර් 20 ක පමණ දුරකිනි.

1979 වසරේ ඉරාන විප්ලවය මෙහෙය වූ ඉරාන උත්තරීතර නායකයා වන්නේ ෂියා මුස්ලිම් ආගමික නායක අයතොල්ලා රුහොල්ලා කොමේනීය. 1989 වසරේ ජූනි 3 වැනිදා අභාවප්‍රාප්ත වුණු කොමේනීගේ දේහය 1989 වසරේ ජූනි 6 වැනිදා විශේෂ සමාධියක් ඉදිකර තැම්පත් කෙරුණි. සොහොන් ගැබට කඩා වැදී බෝම්බය පුපුරුවා ගෙන ඇත්තේ කාන්තාවක බව ද පැවැසෙයි. ඇය සමඟ ත්‍රස්තවාදීන් තිදෙනකු පැමිණි බව මේ වනවිට අනාවරණය වී ඇත. ප්‍රහාරයට පැමිණි තවත් කාන්තාවක පොලිස් අත්අඩංගුවට පත්වුණු අතර ඇය ළඟ තිබී අත්බෝම්බ මල්ලක් ද සොයා ගැණින.

‘මජ්ලිස්’ යන නමින් හැඳින්වෙන පාර්ලිමේන්තුවට එල්ල වුණු ප්‍රහාරය අවසන් වූයේ පැය 4 කට පමණ පසුවය. ත්‍රස්තවාදීන් සන්නද්ධවී සිටියේ ඒ.කේ.47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවිවලිනි.

 සවස 3.30 ට තස්මින් පුවත් සේවය වාර්තා කළේ පාර්ලිමේන්තුවට රිංගා ගත් සියලුම ත්‍රස්තවාදීන් මරා දැමුණු බවත් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව ඉරාන ආරක්ෂක අංශ විසින් තහවුරු කරනු ලැබූ බවත්ය. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණැයි පැවැසිණි. 35 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් බාර ගනු ලැබුණි.

(ප්‍රෙස්ටීවී)

 


RECOMMEND POSTS