ප්‍රහාර මාලාවක්



ඉකුත් සතියේදී සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු ඒකාබද්ධ හමුදා සිරියාවට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවට විරුද්ධව සටන් වදින කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට රසායනික ප්‍රහාරයක් එල්ල කළ බවට රජයේ හමුදාවලට චෝදනා එල්ල විය. සිරියානු ආණ්ඩුව මෙන්ම රුසියාව ද එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මෙම සිදුවීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බෙදීමක් ද හට ගත්තේය.

සිරියානු යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියානු ජනාධිපති බෂාර් අල් අස්දාගේ නායකත්වයෙන් යුතු රජයේ හමුදාවලට එරෙහිව දියත් කරන විශාලතම ප්‍රහාරය සහ මැදිහත්වීම ද මෙයයි.

සිරියානු ජනාධිපතිවරයාගේ සහ රජයේ හමුදාවලට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිකුරාදා (13) රාත්‍රියේ නිවේදනය කළ අතර ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙස ද අණ දුන්නේය. ඔහු අණදුන් විගස සිරියාවේ ඩැමැස්කස් නුවරින් විශාල පිපිරුම් හඬවල් ඇසිණි. ඉන් ටික වේලාවකට පසු බි්‍රතාන්‍ය සහ ප්‍රංශ ගුවන් හමුදාද එම ප්‍රහාරවලට එක්වූ බව බ්‍රිතාන්‍ය අගමැතිනි මේ සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසූහ.

අසාද් ආණ්ඩුව රසායනික අවි භාවිතය නතර කරන තුරු මේ ආකාරයෙන් අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.

වසර හතක් තිස්සේ දිග්ගැස්සෙන් සිරියානු සිවිල් යුද්ධයට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සම්බන්ධව සිටියද සිකුරාදා (13) රාත්‍රියේ සහ සෙනසුරාදා (14) අළුයම් කාලයේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාව බටහිර රටවල් සිරියාවේ කරන ලද විශාලතම මැදිහත් වීම විය. එය රුසියාවට එරෙහිව කරන ලද ප්‍රහාරයක් ද විය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ආණ්ඩුව විරෝධී කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම්වලට සහාය දක්වන අතර රුසියාව සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ ආණ්ඩුවට සහ රජයේ හමුදාවලට සහාය දක්වයි. රුසියාව සිරියානු සිවිල් යුද්ධයට මැදිහත්වූයේ 2015 වසරේදීය.

 හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS