ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි ඉරානය කියයි



ඇමෙරිකන් කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් ඝාතන සිදුවීම මුල්කොට ගනිමින් ඇමෙරිකා පොලිස් නිලධාරීන් සහ එරට ජනතාව අතර හටගන්නා ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි ඉරානය ඇමෙරිකාවට පවසා තිබේ.
 

ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන් මෙසේ පැවැසුවේ එම අමත්‍යාංශයේ ප්‍රකාශක අබ්බාස් මොවුසායිය. ‘අද වනවිට ඇමෙරිකාවේ කෙරුවාව පැහැදිලිව ලෝකයට පෙනෙනවා. ඇමෙරිකාවේ පවතින සමාජ විෂමතාව පැහැදිලියි. ඇමෙරිකන් වැසියන් එරට පොලිසිය සමඟ ගැටෙනවා. ගැටුම් උත්සන්න වෙනවා. අප මේ මොහොතේ පීඩාවට පත්වුණු ඇමෙරිකන් වැසියන් සමඟ සිටිනවා’ යැයි මොවුසායි පවසා තිබේ.

ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින එදිරිවාදිකම් ට්‍රම්ප් පරිපාලනය යටතේ උත්සන්න වී තිබේ. ජනපති ට්‍රම්ප් ඉරානයට දිගට හරහට සම්බාධක පනවා ඇත. ඉරානයේ ‘කොවිඞ් 19’ වසංගත තත්ත්වය දරුණු වූයේ ද මෙම සම්බාධක හේතුවෙන් ඉරානය අසරණ වෙද්දීය. ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ වුවත් එම සම්බාධක ලිහිල් කිරීමට ජනපති ට්‍රම්ප් කටයුතු නොකළේය.

ඇමෙරිකාව තුළ පවතින සමාජ විෂමතාව සහ වාර්ගික ගැටුම් සම්බන්ධයෙන් ඉරානය පමණක් නොව චීනය ද මේ වනවිට ඇමෙරිකාවට විවේචන එල්ල කර ඇතැයි පැවැසෙයි.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS