ප්‍රංශය තුර්කියට බෑ කියයි



පවතින වාතාවරණය යටතේ තුර්කියට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා දීමට නොහැකි බව ප්‍රංශ ජනාධිපති මැක්රොන් තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ට පවසා ඇත.

ප්‍රංශ ජනපති මැක්රොන් මෙසේ පැවැසුවේ, නිල සංචාරයක් සඳහා තුර්කි ජනපති එර්ඩෙගොන් ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි අවස්ථාවකදීය. දෙදෙනා අතර හමුව පැවත් වූයේ ප්‍රංශ ජනපති මන්දිරය වන එලීසේ මාලිගයේදීය.

2016 වසරේ තුර්කියේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. ඉන්පසු තුර්කි රජය දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරමින්, එම කුමන්ත්‍රණය පසුපස සිටින පිරිස් සොයා ඔවුන්ට දළදඬු ආකාරයට දඬුවම් ලබා දුන්නේය. මෙය යුරෝපා රටවල විරෝධයට හේතුවක් වී ඇති බව ප්‍රංශ ජනපති යුරෝපා සංගමය වෙනුවෙන් පෙන්වා දුන්නේය. ප්‍රංශය සහ ජර්මනිය යනු යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජකයන් දෙදෙනාය.

ඊට අමතරව සිරියානු සිවිල් යුද්ධයේ දී තුර්කිය ඊට මැදිහත් වී සිටින ආකාරය සම්බන්ධයෙන් ද යුරෝපා රටවල පැහැදීමක් නැති බවත් මෙම කරුණු කාරණා හේතුවෙන් තුර්කිය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීමට නොහැකි බව ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සාකච්ඡා පැවැත්වීමෙන් පසුව, ප්‍රංශ ජනපතිවරයාත්, තුර්කි ජනපති මාධ්‍ය හමුවක් පැවැත්වූහ. එහිදී මාධ්‍යවේදීහු කිහි දෙනෙක් 2016 වසරේ සිදුවුණු තුර්කි හමුදා කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න විමසන්න වූහ.

හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසු රජය ක්‍රියා කළ ආකාරය දළදඬු යැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න අසන්න වූහ. තුර්කි ජනපතිවරයාට එම අවස්ථාවේදී කේන්ති ගියේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

තුර්කි ජනපති සමඟ ඔහුගේ බිරිය එමීන් ද ප්‍රංශ ජනපති මන්දිරයට පැමිණියාය. ඇයට ප්‍රංශ ජනපති ආර්යා ත්‍රොග්නෝව්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS