ප්‍රංශ ජනාධිපති යළි ලෙබනනයට



ප්‍රංශ ජනාධිපති යළිත් වරක් ලෙබනනයට පැමිණියේය. පසුගිය අගෝස්තු 4 වැනිදා ලෙබනනයේ බේරූට් වරායේ සිදුවුණු බිහිසුණු පිපිරුමෙන් පසු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් බේරූට් පැමිණි දෙවැනි අවස්ථාව මෙයයි.

දෙවැනි ලෝක යුද සමය වෙද්දී, ලෙබනනය ප්‍රංශයේ යටත් විජිතයක් විය. එදා බේරූට් නගරය හඳුන්වනු ලැබුවේ මැදපෙරදිග පැරිසිය යන නාමයෙනි. පසුගිය දා බේරූට් වරායේ සිදුවුණු පිපුරුමෙන් පසු ආධාර රැගෙන, කඩිනමින් බේරූට් වැසියන්ගේ සුවදුක් විමසීමට පැමිණි එකම විදෙස් නායකයා වන්නේ ද ප්‍රංශ ජනාධිපති මැක්රොන්ය. ජනාධිපති මැක්රොන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, බටහිර රටවල් ද හවුල් කර ගනිමින් ලෙබනනයට ආධාර ලබා දීමට ද කටයුතු කළේය.

200 කට ආසන්න පිරිසක් බිලි ගනිමින් සිදුවුණු එම පිපිරුමෙන් පසු, ජනතාවගේ ජීවිත අනතුරේ දැමුවේ යැයි ලෙබනන් වැසියෝ රජයට දොස් නගන්න වූහ. ලෙබනන් රජය දූෂිත යැයි චෝදනා එල්ල විය. පිපිරුමෙන් 4000 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. සිදුවුණු ජීවිත හානිය අතිමහත්ය. බේරූට් වරාය පිපිරුමෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. ජනතා අප්‍රසාදය ඉහවහා යද්දී ලෙබනන් රජය ඉල්ලා අස්විය.

පුරප්පාඩු වූ අගමැති ධුරයට සඳහා, ජර්මනියේ ලෙබනන් තානාපති ලෙස කටයුතු කළ මුස්තාපා අඩීබ්ගේ නම යෝජනා කෙරුණේ ලෙබනනයේ හිටපු අගමැතිවරුන්ගේ කණ්ඩායමය. ඒ අනුව, මුස්තාපා අඩීබ් ලෙබනනයේ අගමැති ධුරයට පත් විය.

ලෙබනනයට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමත්, විනාශ වුණු බේරූට් නගරය යළි ගොඩ නැගීමත් නව අගමැති මුස්තාපා අඩීබ්ගේ ප්‍රධාන කාර්යය වනු ඇතැයි පැවැසෙයි.

මුස්තාපා අඩීබ් ජනතා විශ්වාසය දිනාගත හැකි කාර්යශූර දේශපාලනඥයකු බව ප්‍රංශ ජනාධිපති මැක්රොන් පවා පවසා තිබේ. ලෙබනනයේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය සහ ලෙබනනයට ලැබුණු විදෙස් ආධාර නිසි ලෙස ජනතාව අතරේ බෙදී යනවාදැයි සොයා බැලීම ද ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ මෙම ලෙබනන සංචාරයේ එක් ප්‍රධාන අරමුණකි.

බේරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS