ප්‍රංශ ජනපති මැක්රොන් ඉරාන ජනපති අමතයි



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඉරාන ජනාධිපති හසන් රොව්හානීට දුරකතන ඇමැතුමක් ලබා දුන් බවත්, අර්බුදයට ලක්වුණු ඉරාන න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ප්‍රංශය ඇතුළු ලොව ප්‍රබල රටවල් එක් වී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානය සමඟ පොදු එකඟතාවක් ඇති  කර ගත්තේ 2015 දීය. එවකට ඇමෙරිකාවේ ජනපතිවරයා වූයේ බැරැක් ඔබාමාය. එම එකඟතාවට අනුව තම න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමටත්, ජාත්‍යන්තරයේ අධීක්ෂණය යටතේ එය සිදු කිරීමටත් ඉරානය එකඟ විය. ඒ අනුව, ඇමෙරිකාව ඉරානයට පැනැවූ ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ඉවත් කළේය. ඉරානයට යළි ඔවුන්ගේ තෙල් විකුණා ගැනීමට පවා අවස්ථාව උදා විය.

අද වනවිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කරගෙන ඇති අතර, ඉරානයට දිගට හරහට සම්බාධක පනවා ඇත. ඉරාන හමුදාව, ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව නම් කර ඇති අතර, ඉරාන උත්තරීතර නායක අල් කොමේනිට ද ඇමෙරිකාව සම්බාධක පනවා ඇත. එම සම්බාධක හේතුවෙන්, ඉරානයට යළිත් ඔවුන්ගේ තෙල් විකිණීම ගැටලුවක් වී ඇත. න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමෙරිකා ජනපති තීර්ණය කළ අවස්ථාවේ, එම අදහස වෙනස් කරන්නැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් දිගින් දිගටම ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කළේය. ට්‍රම්ප් ඊට කන් නොදුන් අතර, මැක්රොන් සහ ට්‍රම්ප් අතරේ මත ගැටුම් ද නිර්මාණය විය.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් එල්ල වන කෙනෙහිලිකම් හමුවේ, ඉරානය යුරේනියම් බල ගැන්වීමට පියවර ගෙන ඇත. මේ වනවිට සියයට 5 කින් යුරේනියම් බලගැන්වීමක් සිදු කර ඇති බවත්, එය 2015 ට පෙර ඉරානය සිදු කළ යුරේනියම් බල ගැන්වීමට වඩා ඉහළ ප්‍රතිශකයක් බවත් ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය පෙන්වා දී ඇත. යුරේනියම් බලගැන්වීම මගින් ඉරානයට පරමාණු බෝම්බ නිපදවීමට හැකියාව උදා වෙයි. මෙය ලොවට තර්ජනයක් බව පරමාණු බලශක්ති අධිකාරිය පෙන්වා දෙයි.

2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වුවත්, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, රුසියාව සහ චීනය ගිවිසුමෙන් ඉවත් වී නැත. ප්‍රංශ ජනපති මැක්රොන් ඉරාන ජනාධිපති රොව්හානී ඇමතූ අවස්ථාවේදී ඉල්ලා ඇත්තේ, කෙසේ හෝ ගිවිසුමට අනුකූලව කටයුතු කරන ලෙසය.

පැරිසියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS