ප්‍රංශ ජනපති බහින්බස්වෙලා



ඊශ්‍රායලයේ පැරැණි, ජෙරුසලම නගරයේ පිහිටි ශාන්ත ඈන් ප්‍රංශ දෙව් මැදුර නැරැඹීමට ගිය ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ නිලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල විය. ජනපතිවරයා සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර බහින්බස්වීමක් ද හට ගැණින.

ශාන්ත ඈන් යනු ප්‍රංශයට අයත් දෙව්මැදුරකි. මෙය 1856 දී ඔටෝමාන්වරුන්ට ප්‍රංශයේ තෙවැනි නේපෝලියන් අධිරාජ්‍යයා ලබා දුන් ත්‍යාගයකි. මෙම දෙව් මැදුර අයත් පැරැණි ජෙරුසලම භූමිය ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ගෙන් බලෙන් අත්පත් කර ගත්තේ 1967 දීය. ඒ, මැදපෙරදිග යුද්ධයේදීය.

අද මෙම දෙව් මැදුර අයත් වන්නේ ඊශ්‍රායලයටය. ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයන්ට දෙව් මැදුරට ඇතුළුවීමට අවසර නැත. ප්‍රංශය සහ ඊශ්‍රායලය අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් පවතී.

ඊශ්‍රායලයට පැමිණ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු,  ශාන්ත ඈන් දෙව් මැදුර නරඹන්න යෑමට ජනපති මැක්රොන්ට අවශ්‍ය විය.

ප්‍රංශ ජනපති මැක්රොන් ඊශ්‍රයාලයට පැමිණි අවස්ථාවේ පටන්, ඊශ්‍රායල පොලිසියේත් හමුදාවේත් විශේෂ ආරක්ෂාවක් ඔහුට ලැබී තිබුණි.

ජනපති මැක්රොන්, ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන දෙව් මැදුරට ගිය අවස්ථාවේදී, ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයන් ද ඔවුන් සමඟ දෙව් මැදුර ඇතුළට ගොස් තිබේ.

ජනපති මැක්රොන් මුල සිටම ඊට විරෝධය දැක්වුවත්, ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයක් ඒ ගැන තැනීමක් කර නැත.

දෙව් මැදුර ඇතුළේ දී ප්‍රංශ ජනපති මැක්රොන් කෝපයට පත්වී, ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයන්ට වහා එතැනින් පිටවන්නැයි පවසා ඇත. ඒ, ඔවුන්ට වැටහෙන අයුරින් ඉංග්‍රීසි බසිනි. ‘වහාම මෙතැනින් යන්න. ඔබ නීතිරීතී දන්නවා. වහාම මෙතැනින් පිටවෙලා යන්න’ යැයි ප්‍රංශ ජනපතිවරයා පැවැසුවේය.

ඒ අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයන් දෙව් මැදුරින් ගොස් පිටත රැදී සිටි අතර, ජනපති මැක්රොන් දෙව් මැදුර නැරැඹීමෙන් අනතුරුව ඔවුන් හමුවට ගොස් සුහඳව කතාබහ කළේය.

එහිදී ඊශ්‍රායලයට පැමිණි තමන්ට ආරක්ෂාව සැපැයීම සම්බන්ධයෙන්, ජනපති මැක්රොන් ඔවුන්ට ස්තුති කළේ යැයි ද පැවැසෙයි.

මීට පෙර 1996 දී ද මෙවැනිම සිදුවීමක් සිදුවිය. ඒ, එදා ප්‍රංශ ජනාධිපති වූ ජැක් ෂිරාක් මෙම දෙව් මැදුර නැරැඹීමට පැමිණි අවස්ථාවේදීය.

ජනාධිපති ජැක් ෂිරාක් පිරිවරා ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ දෙව් මැදුරට ඇතුළු විය. ඊට ජනපති ෂිරාක් දැඩි විරෝධයක් පළ කළේය.

ජෙරුසලමේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS