පලස්තීනුවෝ ආධාර එපා කියති



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඊශ්‍රායලය හරහා එවූ වෛද්‍ය ආධාර ප්‍රතික්ෂේප කිරීමට පලස්තීන පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

පලස්තීන පාලන අධිකාරිය වැඩිදුරටත් පවසා ඇත්තේ ඊශ්‍රායලය හරහා තමන්ට ලැබෙන කිසිවක් තමන් බාර නොගන්නා බවය.

පලස්තීන පාලන ප්‍රදේශවල ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වෙමින් පවතී. හමුවී ඇති ආසාදිතයන් ගණන 400 ඉක්මවා ඇත. පලස්තීනුවන්ට වෛද්‍ය උපකරණ සහ ඖෂධ නොමැති අතර එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විශේෂ ගුවන් යානයකින් වෛද්‍ය ආධාර ඊශ්‍රායලයට යැවීම කළේ පසුගියදා ය.

ඒ අනුව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අයත් ‘එතිහාද්’ ගුවන් සේවයේ ගුවන් යානයක් ඉතිහාසයේ පළමු වරට ඊශ්‍රායලයට ගොඩබෑවේය. යානය අබුඩාබි සිට ටෙල් අවීව් දක්වා පැමිණියේ පලස්තීන මුස්ලිම් වැසියන් වෙනුවෙන් ටොන් 14 ක් බරැති එම ආධාර රැගෙනය.

ආධාර බෙදා දීම ඊශ්‍රායල රජයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට කටයුතු යෙදුණේ පලස්තීන ප්‍රදේශවලට ඇතුළු විය හැක්කේ ඊශ්‍රායලය හරහා පමණක් වීම නිසාය. පලස්තීනුවන් ආධාර ප්‍රතික්ෂේප කරන්නේ මේ හේතුව නිසාය.

ජෙරුසලමේදීය (රොයිටර්)


RECOMMEND POSTS