පලස්තීනයේ ඉහළම සම්මානය හිටපු එ.ජා. ප්‍රධානියෙකුට



ඊශ්‍රායලය සම්බන්ධයෙන් වන වාර්තාවක් ඉදිරිපත් නොකරන්නැයි එල්ල වූ බලපෑමක් නිසා ඉකුත්දා ඉල්ලා අස්වූ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බටහිර ආසියානු කොමිසමේ හිටපු ප්‍රධානී ආචාර්ය  රීමා කලාෆ් වෙත පලස්තීන් රජයේ පිරිනමන ඉහළම සම්මානය පිරිනැමීමට පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් තීරණය කර ඇත.

පලස්තීන් ජනයා වෙනුවෙන් සිදු කළ අප්‍රහිත ධෛර්යය හා සහයෝගය වෙනුවෙන් පලස්තීන් ජනාධිපතිවරයා එරට රජයෙන් පිරිනම්න ඉහළම සම්මාන පිරිනැමීමට තීන්දු කළ බව පලස්තීන් අධිකාරියේ නිල පුවත්සේවය වන වාෆා ඒජන්සිය වාර්තා කළේය.

තම රජය මෙම සම්මානය පිරිනමන බව මහමුද් අබ්බාස් ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ  කලාෆ් මහත්මිය අමතා දැනුම් දී ඇත.කෙසේ වෙතත් ඇය එම සම්මානය පිළිගන්නවාද නැත්ද යන්න ගැන තොරතුරක් එහිදී පලස්තීන ජනාධිපතිට දන්වා නොමැත.

1953 කුවේටයේ උපන් ආචාර්ය රීමා කලාෆ් මහත්මිය ජෝර්දාන ජාතික කාන්තාවක් වන අතර 2010 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් යටතේ වූ බටහිර ආසියාව සඳහා වූ ආර්ථික සහ සමාජ කොමිසම ප්‍රධානියා වශයෙන් ඉකුත් 17 වැනිදා තෙක්ම කටයුතු කළේය. ඊශ්‍රායලය සම්බන්ධයෙන් වන වාර්තාවක් ඉදිරිපත් නොකරන්නැයි වත්මන් එ.ජා.මහලේකම් අන්තෝනියෝ ගටරෙස් මහතා කළ බලපෑමක් මත ඇය ඉකුත් 17 වැනිදා සිය තනතුරෙන් ඉල් අස්වූවාය.

ඊශ්‍රායලය පලස්තීන වැසියන් මත වර්ණභේදවාදී රෙජීමයක් පැනවීමට උත්සහ ගත් බව ට සඳහන් කරමින් ආචාර්ය කලාෆ් මහත්මිය සිය වාර්තාවෙන් ඊශ්‍රායලයට චෝදනා එල්ල කර තිබිණි.

ඊශ්‍රායලය ඔවුන්ගේ මිත්‍ර රටවල් හා එක්ව මෙම වාර්තාව ඉදිරිපත් නොකරන ලෙසට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට බලපෑම් කර තිබූ බව ආචාර්ය රීමා කලාෆ් මහත්මිය බීරූට් නුවරදී ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කරැණු දක්වා තිබිණි.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.

 


RECOMMEND POSTS