පරීක්ෂකයෝ ඇවිල්ලා



එල්ල වුණැයි කියන විස වායු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් සිරියාවේ ඩෝමා නගරයට පැමිණි බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ඩෝමා නගරයට ක්ලෝරීන් විස වායු ප්‍රහාරයක් එල්ල වුණ බව පැවැසුණේ පසුගිය 7 වැනිදාය. එයින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළුව 71 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිය ගණනක් තුවාල ලැබූහ.

ඩෝමා නගරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් විස වායු ප්‍රහාරයක් එල්ලවුණැයි පෙන්වා දුන්නේ වෛද්‍ය ආධාර ලබා දීමට එහි ගිය බටහිර රාජ්‍ය නොවන සංවිධානය. මෙම සංවිධානය සහාය පළ කරන්නේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය.

එම ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සිරියාවේ හමුදා කඳවුරු සහ රසායනික අවි නිෂ්පාදන කම්හල් ඉලක්ක කර ගනිමින් පහරදීමක් කළේ පසුගිය 14 වැනිදාය.

සිරියානු රජයට සහාය දක්වන රුසියාව දිගින් දිගටම කියා සිටියේ රසායනික විස වායු ප්‍රහාරයක් එල්ල වුණැයි කිසිදු ප්‍රබල සාක්ෂියක් නැති බවය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහාය සිරියාවට පහර දුන්නේ ඒ අනුවය.

කෙසේ නමුත් පසුගිය 14 වැනිදා වනවිටත් ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම, ඩෝමා නගරයට එල්ලවුණැයි කියන ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යබව සෙවීමට සිරියාවට පැමිණ සිටි බව ද පැවැසෙයි. කෙසේ නමුත් එම පිරිසට ඩෝමා නගරයට යෑමට සිරියානු රජය අවසර ලබා දී තිබුණේ නැත.

(රොයිටර්)


RECOMMEND POSTS