පනත් කෙටුම්පත සම්මතයි



යුදෙව්වන්ට ප්‍රමුඛත්වය දෙමින්, ඊශ්‍රායලය මුළුමනින්ම යුදෙව් රාජ්‍යයක් ලෙස නම් කිරීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත, ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

සම්මත වුණු නව පනතට අනුව, අරාබි ඊශ්‍රායලයේ නිල භාෂාව ලෙස මින්ඉදිරියට පිළිගැනෙන්නේ නැත. ජෙරුසලම මුළුමනින්ම ඊශ්‍රායලයේ යුදෙව්වන්ගේ අගනුවර ලෙස පිළිගැනෙයි.

යුදෙව් වැසියන්ගේ ඓතිහාසික නිජබිම ඊශ්‍රායලය බවත්, නව පනත හරහා එය තහවුරු වුණු බවත්, ඒ ගැන සතුට පළ කරන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත.

පනත සම්මත වූයේ ඇමැතිවරුන් හැට දෙදෙනකු ඊට කැමැත්ත පළ කරමිනි. විරෝධය පළ කර ගණන 55 ක් යැයි ද පැවැසෙයි.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘කෙනැසට්’ යනුවෙනි. පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පැය 8 ක් පුරා වාද විවාද පැවැතිණි.

ඊශ්‍රායලයේ ජනගහනයෙන් සියයට 20 ක් ඊශ්‍රායල අරාබි වැසියන්ය.  එය මිලියන 9 ක් පමණය. පනත් කෙටුම්පත සම්මත වූයේ ඔවුන්ගේ විරෝධය මධ්‍යයේය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS