නෙදන්යාහු-පුටින් හමුවෙයි



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීය.

ඊශ්‍රායල අගමැති බිරිඳ ද මෙම සංචාරයට එක් වූවාය.

රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් වූයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ නව මැදපෙරදිග සාම සැලැස්මය.

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු මොස්කව් බලා පැමිණියේ ඇමෙරිකාවට ගොස් ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී ආපසු ඊශ්‍රායලය බලා යද්දීය. ජනපති ට්‍රම්ප් හඳුන්වා දුන් එම නව සාම සැලැස්ම ඊශ්‍රායල අගමැතිවරයාගේ පැසසුමට හේතුවක් වී ඇති නමුත් පලස්තීනුවන්ගෙන් ඊට විරෝධයක් එල්ල වී ඇත.

මේ අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී මත්ද්‍රව්‍ය රැගෙන යද්දී රුසියන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙනු ලැබ බන්ධනාගාර ගත කළ ඊශ්‍රායල තරුණියක වන 26 හැවිරිදි නාමා ඉසාචර් ට ජනපති පුටින්ගෙන් සමාව හිමිවිය.

නිදහස හිමිවුණු නාමා ඉසාචර් ආපසු ඊශ්‍රායලයට රැගෙන යෑම ද ඊශ්‍රායල අගමැති නෙදන්යාහුගේ මෙම මොස්කව් සංචාරයේ දෙවැනි අරමුණක් විය.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS