නැගෙනහිර ජෙරුසිලම පලස්තීනයේ අගනුවර කරන්න



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නවා නම්, පලස්තීන පාලනය යටතේ පවතින නැගෙනහිර ජෙරුසිලම, පලස්තීනයේ අගනුවර ලෙස පිළිගැනීමට කටයුතු කළ යුතු යැයි තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැත්වෙන ‘ඉස්ලාමීය සහයෝගීතා සමුළුවට’ සහභාගී වන මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

‘ඉස්ලාමීය සහයෝගීතා සමුළුව’ හදිසියේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී ආරම්භ වූයේ තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ගේ ප්‍රධානත්වයෙනි. 

සමුළුව රැස්වූ සියලුම මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිකයන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීරණය හෙළා දැකීමට කටයුතු කළ බව ද වාර්තා විය.

ඊට පලස්තීන පාලන අධිකාරිය නියෝජනය කරමින් පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් ද සහභාගී විය. ඊශ්‍රායල පලස්තීන අර්බුදය හෙවත් මැදපෙරදිග අර්බුදයේ ‘සාම මැදහත්කරු’ ලෙස මින් ඉදිරියට තමන් ඇමෙරිකාව පිළිනොගන්නා බව ජනාධිපති අබ්බාස් අවධාරණය කළේය.

ඊශ්‍රායලයට පක්ෂපාතී අයුරින්, ට්‍රම්ප් ජෙරුසිලම එරට අගනුවර යැයි තීරණය කිරීමත් සමඟ පලස්තීනුවන්ට විශාල අසාධාරණයක් සිදුවුණු බවත්, එය මඟ හරවා ගැනීමට නම් ලෝකය එක් වී, පලස්තීනුවන්ගේ අගනුවර ලෙස නැගෙනහිර ජෙරුසිලම නම් කළ යුතු බව සමුළුවට එක් වුණු නායකයෝ අවධාරණය කළහ.

ට්‍රම්ප් ජනපති ධුරයට පත්වුණු අවස්ථාවේදී, තමා පමණක් නොව පලස්තීන වැසියන් ද සාමය ගැන ලොකු බලාපොරොත්තුවකින් පසුවුණු බවත්, අවසානයේ දී ට්‍රම්ප් තමන්ට සහ තම වැසියන්ට අතුල් පහරක් එල්ල කළ බවත් පලස්තීන ජනපති අබ්බාස් සමුළුව අමතමින් කියා සිටියේය. ඊශ්‍රයලය සහ පලස්තීනය වෙන් වෙන්ම තම අගනුවර ලෙස සළකන්නේ ජෙරුසිලමය.

ට්‍රම්ප් ජෙරුසිලම ඊශ්‍රායල අගනුවර ලෙස පිළිගැනීමත් ඇමෙරිකන් තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරින් ජෙරුසිලමට මාරු කිරීමට තීරණය කිරීමත් සමඟ නව අර්බුදයක් නිර්මාණය විය. ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඇවිලී ගිය අතර, ලොව සෙසු මුස්ලිම් රටවලින් ද ට්‍රම්ප්ට දැඩි විරෝධයක් එල්ල විය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS