න්‍යෂ්ටික අවි තැනීමේ අරමුණක් ඉරානයට නෑ



ලෝක බලවතුන් සමඟ ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාව තිබුණත් නැතත් න්‍යෂ්ටික අවි තැනීමේ අදහසක් ඉරානයට නොමැති බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී අවධාරණය කර තිබේ.

‘අප කිසිම අවස්ථාවක විනාශකාරී න්‍යෂ්ටික අවි තැනීමට අදහස් කළේ නැහැ. එසේ කරන්න අප කවදාවත් උත්සාහ ගන්නේත් නැහැ. අපේ න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී එකක්. 2015 දී ලෝක බලවතුන් සමඟ ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාව තිබුණත් එය අහෝසි වුණත් අප කිසිම දවසක න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැහැ’ යැයි ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කළේ එරට බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමටය. කෙසේ නමුත් ඊශ්‍රායල මෙන්ම ඇමෙරිකාව ද දිගින් දිගටම චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, පරමාණු බෝම්බ නිපදවන බවටය. 2015 වසරට පෙර, ඇමෙරිකාව ඉරානයට ආර්ථික සබඳතා පැනැවූයේ ද ඒ නිසාය.

කෙසේ නමුත් 2015 දී, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ බැරැක් ඔබාමාගේ නම්‍යශීලී ප්‍රතිපත්ති හේතුවෙන්, ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය සහ රුසියාව ඉරානය සමඟ සාකච්ඡා පවත්වා ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගත්තේය.

එම අවස්ථාවේදී ඊශ්‍රයලයෙන් ඇමෙරිකාවට දැඩි විරෝධයක් එල්ල විය. රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනපති ධුරයට පත්වීමෙන් පසු, ඊශ්‍රායලයේ එම විරෝධය සැලකිල්ලට ගනිමින්, 2015 න්‍යෂ්ටික එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැණින.

අද ඇමෙරිකාව හැර සෙසු රටවල් ඉරානය සමඟ එම ගිවිසුමට අනුව කටයුතු කරයි. න්‍යෂ්ටික එකඟතාවයෙන් ඉවත් වීමෙන් පසු ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඉරානයට දිගට හරහට සම්බාධක පැනැවීමක් ද කළේය. ඉරානයත් ඇමෙරිකාවත් අතර අර්බුදය උත්සන්න වූයේ ඒ අනුවය.

ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉරානය සම්බන්ධයෙන් නව න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවය. කෙසේ නමුත් ඉරානය එය ප්‍රතික්ෂේප කර තිබේ.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS