නව පක්ෂයක්



ඊශ්‍රායල ආණ්ඩුවේ අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙක් ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින් සෙනසුරාදා (29) නව පක්ෂයක් පිහිටවූහ.

ඊශ්‍රායල මහ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍ය නෆ්ටාලි බෙනට් සහ අධිකරණ ඇමැතිනි අයලේ ෂේක්ඞ් යන දෙදෙනා අන්ත දක්ෂිණාංශික යුදෙව් (ජුවිෆ් හෝම්) පක්ෂයෙන් ඉවත්වෙමින් එලෙස නව දක්ෂිණාංශික පක්ෂයක් පිහිටවූහ.

බෙනට් නැෂනලිස්ට් ජුවිෂ් හෝම් පක්ෂයේ වූ අතර අයලේ ෂේක්ඞ් එහි නියෝජ්‍ය නායකත්වය හෙබවූවාය. එම පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 8ක් හිමි වූ තිබූ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ සන්ධානයේ සාමාජික පක්ෂයක් ද විය.

ආගමික සහ ආගමික නොවන ඡන්ද දායකයන් අතර සමානාත්මතාවය ස්ථාපිත කිරීම නව පක්ෂයේ අරමුණ යැයි පුවත්පත් සාකච්ඡාවක්ට එක්වෙමින් එම අමාත්‍යවරු දෙදෙනා කීහ.

ජුවිෂ් හෝම් පක්ෂය ආරම්භ කරන ලද්දේ 2013 වසරේදීය. එහෙත් පසුගිය කාලයේදී පක්ෂයට තිබූ ප්‍රසාදය පහළ වැටුණු අතර විශේෂයෙන්ම අනාගමික ඊශ්‍රායල ජාතිකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට අසමත් විය.

ආගමික සියොනිස්ට් ඡන්ද දායකයන් අගමැති නෙදන්යාහුට සමීප නමුත් මැතිවරණයේදී ඡන්ද දායකයන් ඔහු අත්හැර දමනු ඇතැයි ද බෙනට් මාධ්‍ය හමුවේදී පැවැසීය.

“ආගමික සියොනිස්ට් ප්‍රජාව තම සාක්කුවේ ඉන්න බව නෙදන්යාහු තේරුම් ගෙන තිබෙනවා. ඔහු ඔවුන්ට කෙසේ සැලකුවත්, එම ප්‍රජාව ඔහු අනුගමනය කරනවා” යැයි ද බෙනට් කීවේය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට දූෂණ චෝදනා එල්ල වී තිබුණත් ඔහු මැතිවරණයෙන් ජයගනු ඇතැයි මත විමසුම් දැනටමත් පෙන්වා දී ඇත.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS