නව නායකයා අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරාෂි



අබු බකර් අල් බැග්ඩෑඩිගේ මරණින් පසු, නව නායකයා ලෙස අබු ඊබ්‍රහීම් අල් හෂීම් අල් කුරාෂි පත් කරගත් බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පැවැසීය.

අබු බකර් අල් බැග්ඩෑඩි, ඇමෙරිකන් ප්‍රහාරයෙන් මියගිය බව අයි.එස්. ත්‍රස්ත සංවිධානය තහවුරු කළ පළමු අවස්ථාව ද මෙය විය. ඇමෙරිකන් ඩෙල්ටා ෆෝස් සෙබළුන්, අල් බැග්ඩෑඩි වැටළීමේ මෙහෙයුම කළේ, පසුගිය 27 වැනිදාය.

අල් බැග්ඩෑඩි මියගිය බව තහවුරු කරමින්, අල් කුරාෂි නව නායකයා ලෙස පත් කළ බව අයි.එස්. සංවිධානය කියා සිටියේ, හඬ පටයක් නිකුත් කරමිනි. හඬ පටය නිකුත් කර ඇත්තේ අයි.එස්. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරව අබු හම්සා අල් කුරාෂිය.

බැග්ඩෑඩි මියගිය අවස්ථාවේදී, ඒ පිළිබඳ මාධ්‍ය හමුවේ අනාවරණය කරමින්, ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ බැග්ඩෑඩි ‘උමතු මහල්ලකු’ බවත්, ඔහු බල්ලකු මෙන් මියගිය බවත්ය. බැග්ඩෑඩිගේ මරණය සම්බන්ධයෙන් සතුටු නොවන ලෙසත්, ඇමෙරිකාවෙන් පළිගැනීමට පියවර ගන්නා බවත් අබු හම්සා අල් කුරාෂි නිකුත් කළ හඬ පටයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

ඊබ්‍රහීම් අල් හෂීම් අල් කුරාෂි සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ වැඩි තොරතුරක් නොදන්නා බව පැවැසෙයි. ඊබ්‍රහීම් අල් හෂීම් අල් කුරාෂි යන නම ව්‍යාජ නමක් විය හැකි යැයි ඇමෙරිකන් බුද්ධි අංශ සැක කරයි. අල් කුරාෂි යන ගෞරව නාමය හිමිවන්නේ, මහම්මත්තුමාට සෘජුව සම්බන්ධ ගෝත්‍රික වැසියන්ගේ පරම්පරාවේ සාමාජිකයන්ට පමණි. ආගමික නායකයන් එසේත් නැතිනම් කලීෆාවරුන් ලෙස පත් කෙරෙන්නේ ද මෙවැනි පුද්ගලයන්ය. අල් කුරාෂි, අල් බැග්ඩෑඩිගේ සමීපතමයකු මෙන්ම, අයි.එස්. සංවිධානය පිහිටුවීමෙහිලා පුරෝගාමියකු බව පැවැසෙයි.

අයි.එස්. ත්‍රස්ත සංවිධානය ඔවුන් විසින් ඉරාකයේත් සිරියාවේත් අල්ලා ගත් පළාත් එක් කරමින් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීය. ඒ, 2014 දීය. අල් බැග්ඩෑඩි, එම ඉස්ලාමීය රාජ්‍යයේ කලීෆා වූයේය. අල් බැග්ඩෑඩි, අයි.එස්. සංවිධානයට නායකත්වය දුන්නේ කලීෆා ලෙසය.
මේ අතර, අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඝාතන මෙහෙයුමේ වීඩියෝ දසුන් සහ ඡායාරූප ඇමෙරිකන් හමුදාව පසුගිය 30 වැනිදා ප්‍රසිද්ධියට පත් කළේය.

අල් බැග්ඩෑඩි සැඟවී සිටි නිවසට පහර දී, බැග්ඩෑඩි කොටු කර ගැනීමට සමත් වූයේ ඇමෙරිකාවේ ඩෙල්ටා ෆෝස් බළකායේ සෙබළුන්ය. බැග්ඩෑඩි සැඟවී සිටියේ වයඹදිග සිරියාවේ නිවසක් තුළය. මෙම නිවස උමං පද්ධතියකින් ද සමන්විත විය. ඩෙල්ටා ෆෝස් සෙබළුන්, අල් බැග්ඩෑඩි කොටු කර ගැනීමට සමත් වූයේ උමඟක් තුළය. එම අවස්ථාවේදී, බැග්ඩෑඩි ඔහුගේ බෝම්බ කබාය පුපුරුවා ගනිමින් දිවි නසා ගත්තේය.

ඇමෙරිකා හමුදා කළ ප්‍රහාරයේ දසුන් පසහ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේ ඇමෙරිකා ජනරාල් කීනත් මැකෙන්සිය. බැග්ඩෑඩි සිය බෝම්බ කබාය පුපුරුවා ගත් අවස්ථාවේදී ඔහු සමඟ ඔහුගේ දරුවන් තිදෙනෙකු ද මියගිය බව පැවැසිණි. ජනරාල් මැකෙන්සි මාධ්‍ය හමුවේ කියා සිටියේ මියගියේ දරුවන් දෙදෙනකු පමණක් බවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS