ධුරයට සමුදුන් හරීරී ප්‍රංශයේ



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ආරාධනාව පිළිගනිමින් ධුරයෙන් ඉවත් වුණු ලෙබනන් අගමැති සාද් හරීරි, සිය බිරිඳ ලාරා ද සමඟ සෞදියේ සිට ප්‍රංශයට පැමිණියේය.

හරීරි පැරිසියට පැමිණිය ද ඔහුගේ දරු දෙදෙනා තවමත් සෞදියේ රියාද් අගනුවර සිටින බව පැවැසෙයි. හරීරි සහ බිරිඳ ලාරා, පැමිණියේ පැරිසියට ඔබ්බෙන් පිහිටි ලා බොර්ගේ ගුවන්තොටුපොළට යැයි ප්‍රංශ පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

හරීරි ලෙබනන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඔහුට මරණ තර්ජන එල්ල වන්නේ යැයි චෝදනා නගමිනි.  මරණ තර්ජන එල්ල කරන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සහ ඉරානය යැයි හරීරි පවසා ඇත.

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව හරීරි නිවේදනය කළේ සෞදියේ රියාද් නුවර සිටය.

ලෙබනන් හිස්බුල්ලා සංවිධානයත්, එරට ජනපතිවරයාත් චෝදනා කර ඇත්තේ සෞදියේ බලපෑම මැද හරීරි ධුරයෙන් ඉවත් වුණු බවත්, ඔහු සෞදියේ සිරකරුවකු බවත්ය.

හරීරි යළි ලෙබනනයට යෑමට අදිමදි කරමින් සිටිද්දී, ප්‍රංශ ජනපති මැක්රොන් ඔහු සහ ඔහුගේ පවුලේ අයට ප්‍රංශයට පැමිණෙන්නැයි ඇරැයුම් කර තිබුණි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS