දේවමෙහෙය අලී කමේනිගේ ප්‍රධානත්වයෙන්



ඉරානයේ තෙහෙරාන් අගනුවර සිකුරාදා (17) සේව මෙහෙය පැවැත්වූයේ, එරට උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ ප්‍රධානත්වයෙනි. අලී කමේනී මෙසේ දේව මෙහෙයක් පැවැත්වූයේ 2012 වසරෙන් පසුවය.

ඉරාන හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් යුක්රේන මගී ගුවන් යානය කඩා වැටීමේ සිදුවීමත්, එහි සිටි 176 දෙනා ජීවිතක්ෂයට පත් වීමත් හේතුවෙන් අලී කමේනී සහ ඉරාන රජයට දොස් අහන්න සිදුවී තිබේ. විපක්ෂ ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙන් තෙහෙරාන් අගනුවර විරෝධතා ද පැවැත්වෙයි.

මේ සියල්ල සිදුවූයේ ඇමෙරිකාව ඉරාන හමුදා නායක කසීම් සුලෙයිමාන් මරා දැමීමත් සමඟය. පසුගිය 8 වැනිදා යුක්රේන මගී යානය ඉරානයේ දී කඩා වැටුණේ, ඉරාන හමුදාව ඉරාකයේ ඇමෙරිකන් කඳවුරු ඉලක්ක කර ගනිමින් පහර දෙද්දීය.

ගුවන් යානයට මිසයිල ප්‍රහාරය එල්ල වූයේ අත්වැරදීමකින් වුවත්, එම අවස්ථාවේදී ඉරාන විප්ලපීය හමුදාව කළේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සතුරු ඉලක්කවලට පහර දීමක් බවත්, හමුදාව එසේ කළේ රට වෙනුවෙන් බවත්, ඔවුන් කිසිදු වරදක් නොකළ බවත් දේව මෙහෙයේදී අලි කමේනී පැහැදිලි කළේය.

ගුවන් යානය කඩා වැටීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරානය අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බවට ද ඉරාන උත්තරීතර නායකයා අනතුරු ඇඟවීමක් ද කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS