දිවයිනට ගෙන්වා ගන්නැයි ඉල්ලයි



කටාර් රාජ්‍යයේ පවතින වයිරස් ව්‍යාප්තිය නිසා එරට සේවයේ නියුතුව  සිටින ශ්‍රී ලාංකිකයින් 800 කට ආසන්න පිරිසක්  විසින් තමන්ව යළි දිවයිනට  ගෙන්වා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් කටාර්යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සංදේශයක් බාර දී ඇතැයි එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කර සිටී.

මෙලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇත්තේ සමස්ත සේවකයින් 9000 කින් යුතුව පවත්වා ගෙන යන කටාරයේ   ප්‍රධාන ගමනාගමන ආයතනයක්වූ " මෝවාසලාට් ( කර්වා ) ට්‍රාන්ස්පෝට් කම්පැනි " හී  සේවය කරන 800ක පමණ වන ලාංකික ශ්‍රමිකයින් පිරිසකි.

සාමාන්‍යයෙන් දිනකට කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 1000කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් , එම වයිරස් ව්‍යාප්තිය පැවතුණ ද එහි සිටින සේවකයින්ට සේවා ස්ථාන වලට යා යුතුව ඇති බව එම ලාංකික සේවක පිරිස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිය ලිපියෙන්  දන්වා ඇත.

වයිරසය ආසාදනය වී  සිය රැකියා ආයතනයේ බොහෝ පිරිසක් රෝහල් ගත වන සේම , නිරෝධායනයට යොමු කෙරුණද  ඔවුන්ට සිදු වන්නේ කුමක්දැයි යන්න දැන ගැනීමට සහෝදර සේවකයින් ලෙස තමන්ට දැන ගැනීමට  නොලැබෙන බවද එම ලාංකික සේවකයෝ කියා සිටිති.

මේ තත්ත්වය තුල තමන්ට ජීවිත අවදානමක් පවතින බැවින් , තමන් සියලු දෙනාම යළි දිවයිනට ගෙන්වා ගන්නැයි  ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු පාර්ශව වලින් කාරුණිකව ඉල්ලා සිටින බවද එම ලාංකික⁣  ශ්‍රමිකයින්  තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටිති.

මෙම තත්ත්වය පිළිබඳ එරට පිහිටි තානාපති කාර්යාලයට ලිඛිතව දැනුම් දුන්නද තවමත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔවුහූ කියා සිටිති.

එබැවින් එම ස්ථානයේ සියලු සේවකයින් සිටින්නේ ජීවිත අවධානමක බවත් එනිසා තමන්ව හැකි ඉක්මනින් මව් රටට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම පිරිස පැවසීය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS