දියමන්තිය හමුවෙලා



ඩුබායිහි නිදහස් වෙළඳ කලාපයේ පිහිටි සමාගමක සේප්පුවකින් සොරකම් කළ  ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 320ක්ට වැඩි) වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමටත්, එම සොරකම සිදු කළා යැයි සැකපිට ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත් වී ඇතැයි කලීජ් ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවිය පසුගිය 27 වැනිදා වාර්තා කළේය.
එම සමාගම සතුව පැවති පැය 8620 ක් පුරා දිවෙන ආරක්ෂිත කැමරා දර්ශන (සී.සී.ටී.වී) වාර  පරීක්ෂාවට ලක් කිරීමෙන් සහ පුද්ගලයින් 120 ක අධික පිරිසකගෙන් මෙම සොරකම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම නිල් දියමන්තිය සොයා ගැනීමටත් , සැකකරු අල්ලා ගැනීමටත් හැකිවූ බවද කලීජ් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ඩුබායි ජබෙල් අලි ප්‍රදේශයේ ඇති නිදහස් වෙළඳ කලාපයේ පිහිටි මූල්‍ය හුවමාරු සමාගමක ආරක්ෂකයෙකු වූ සැකකාර ලාංකිකයා විසින් කැරට් 9.33 ක් වටිනා මෙම දුර්ලභ ඝණයේ නිල් දියමන්තිය පසුගිය මැයි 25 වනදා එහි සේප්පුවෙන් ඉවත් කරගෙන ඇති බව එම සී.සී.ටී.වී දර්ශන වාර දහස් ගණනක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සොයා ගෙන ඇත.

සැකකරු විසින් එම සොරකම සිදු කර දින 14 ක් ඇතුළත එම දියමන්තිය  ඩුබායි රාජ්‍යයෙන් පිට කිරීම සදහා ඔහුගේ ඥාතියෙකුට ලබාදී ඇති බව සදහන්ය.

ඒ අනුව එම දියමන්තිය සපත්තු ජෝඩුවක් තුළ සගවා මුහුදු මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහන සේවාවක් මඟින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව ඩුබායි පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී හෙළිවී ඇත.

මෙම දියමන්තිය රඳවා තිබූ සේප්පුව ආරක්ෂිත ගේට්ටු තුනකින් වසා දමා දැඩි ආරක්ෂාවකින් පැවති අතර සැකකරු ඒ සිලුම ආරක්ෂික ගේට්ටු වව ඉබි යතුරු කඩා දමා ඉතා සූක්ෂම ලෙසින් මෙම සොරකම සිදු කර ඇත.

සැකකරු විසින් සොරකම සිදු කරන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන නිල වශයෙන් අන්තර්ජාලයට මුදහැරීමටද ඩුබායි පොලීසිය කටයුතු කර තිබේ.

සොරකම අනාවරණ කරගැනීමෙන් පසු එම සැකකරු ඩුබායි හි වෙනත් ප්‍රදේශයක සිටියදී අත්අඩංගුවට ගැනීම ඩුබායි පොලීසිය සිදු කළ ආරක්ෂක මෙහෙයුම් වලින් හැකි වූ බවද  වාර්තාවේ. එසේම සැකකරු  සිය ආරක්ෂාව සඳහා සොරකම සිදු කළ දා පටන් ඔහු එතෙක් භාවිතා කළ ජංගම දුරකථනය විසන්ධි කොට තබා ගැනීමට පවා සූක්ෂම ලෙසින් කටයුතු කර ඇති බවද සඳහන්ය.

තමන් ක්ෂණිකයෙන් කෝටිපතියෙකු වීමේ අරමුණෙන් වාර්ෂික සේවා නිඩාඩු ගෙන මව් රටට යෑමට පෙර මෙම සොරකම සිදු කළ බව සැකකරු ඩුබායි පොලීසිය හමුවේ ප්‍රකාශ කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සැකකරුගෙන් තවදුරටත් දීර්ඝ ප්‍රශ්න කිරීම් සිදු කරන බවද කලීජ් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

(තිළිණි ද සිල්වා)

 


RECOMMEND POSTS