දහස් ගණනක් පා ගමනේ



දින හයක විරෝධතාවක් ආරම්භ කළ 'ගාසා' තීරයේ ජීවත් වන පලස්තීන ජාතිකයන් දහස් ගණනක් ඊශ්‍රායල දේශ සීමාව කරා පා ගමනින් ගමන් ගත්හ.

මෙම විරෝධතාකරුවන්ට ඊශ්‍රායල හමුදාව වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර, මේ වන විට පුද්ගලයන් අට දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව 350 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවට පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ස්ථාන පහක ගැටුම් සිදු වූ අතර "ඒවා මෙහෙයවන පුද්ගලයන්ට වෙඩි තැබූ බව " ඊශ්‍රායල හමුදාව පවසයි.උද්ඝෝෂණ ඉදිරියට ගෙනයෑම සදහා ඊශ්‍රායල් දේශ සීමා ආසන්නයේ පලස්තීන කඳවුරු පහක් පිහිටුවා ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ සිටින සරණාගතයන්ට නැවත සිය රටට පැමිණීමට ඉඩ ලබා දෙන ලෙසයි.

ඊශ්‍රායල හමුදාව පවසන පරිදි දාහත් දහසකට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් ඉහත කී පා ගමනට එක්ව සිටිති

කැරළිකරුවන් ටයර් පුළුස්සමින්, පෙට්‍රොල් බෝම්බ, ගල්මුල් වැනි දේවලින් හමුදාවට ප්‍රහාර එල්ල කරන අතර, ඔවුන් දේශ සීමාව අසලට ඒම වැළැක්වීමට යුද ටැංකි, ස්නයිපර් තුවක්කු සහ කඳුළු ගෑස් භාවිතා කිරීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කර ඇත. මියගිය පුද්ගලයන් අතර අවුරුදු දාසයක තරුණයෙකු සිටි බවට පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත.

සිකුරාදා (මාර්තු 30) මෙම විරෝධතා ආරම්භ වීමට පෙර එක් පුද්ගලයෙකු ඝාතනය කළ බව ඔවුහු තව දුරටත් සඳහන් කළහ. ඔමාර් සමර් නම් ඔහු විසිහත් වියැති ගොවියෙක් වන අතර ඊශ්‍රායල හමුදාව එල්ල කළ යුද ටැංකි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇත. ඒ අසල සිටි තවත් පුද්ගලයෙකු තුවාල ලද බවත් ප්‍රකාශ විය.

සිද්ධිය දුටුවන් බීබීසී ගාසා වාර්තාකරුට පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල වන විට ඔවුන් 'පාස්ලි' කොළ නෙළමින් සිටි බවය. පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් ගාසා තීරය අවට හමුදාව දෙගුණයකින් වැඩි කිරීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

"මෙම විරෝධතා අතර යම් කිසි ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වීමට ඇති ඉඩ කඩ අපි හඳුනාගෙන තිබෙනවා. සාමාන්‍ය ජනතාවට මෙම ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න කියා ඉල්ලා සිටින අතර හමාස් ත්‍රස්ත සංවිධානයට අපි අනතුරු අඟවා සිටිනවා. මේ සිදුවන දරුණු කැරළිවලට වගේම ඒ සම්බන්ධයෙන් සිදුවන සියලු දේවලට ඔවුන් වග කිව යුතුයි," ඊශ්‍රායල හමුදා අණදෙන නිලධාරී මජ් ජෙන් එයාල් සමීර් පැවසුවේය.

1948 දී ඊශ්‍රායල් රාජ්‍යය නිර්මාණය කිරීමෙන් පසු නෙරපා දැමුණු හෝ පළා ගිය සිය දහස් ගණන් පලස්තීන වැසියන්ට නැවත සිය රටට පැමිණීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලමින් නිතර ගැටුම් ඇති විය. සිය රටට නැවත පැමිණීමට අයිතියක් ඇති බවට පලස්තීන ජාතිකයන් කියා සිටියත් , ඔවුන් ගාසා තීරය සහ බටහිර ඉවුරේ පදිංචි විය යුතු බව ඊශ්‍රායලයේ ස්ථාවරයයි.

( තිළිණි ද සිල්වා)

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS