තුර්කිය දෙහි කපයි



මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය පසුපස, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සිටින බවට පැහැදිලි සාක්ෂි ලැබී තිබියදී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒ සියල්ල නොසලකා සෞදියට ‘සුදුහුණු ගෑම’ සම්බන්ධයෙන් තුර්කියේ විරෝධය එල්ල වී ඇත.

සෞදිය සහ සල්මාන් කුමරුන් තම ‘විශ්වාසවන්ත සගයන්’ යැයි ට්‍රම්ප් පුනපුනා පැවැසීම උපහාසයට කරුණක් බව තුර්කි රජය පවසා ඇත. මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඇමෙරිකන් පුරවැසියෙකි. ඔහු ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සම්බන්ධ වී සිටි මාධයවේදියෙකි. එහෙයින්, ඔහු වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට විය යුතු යැයි තුර්කි රජය ඇමෙරිකා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයට ලක් වූයේ පසුගිය ඔක්තෝබර් දෙවැනිදාය. ඒ, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. ඝාතනය සම්බන්ධයෙන් තුර්කිය විශේෂ මෙන්ම පුළුල් පරීක්ෂණයක් පැවැත්වීය.

එහිදී සාක්ෂි සහ හඬපට ඔවුන් විසින් ලබා ගන්නා ලදී. එහිදී අනාවරණය වී ඇත්තේ ඝාතනය සඳහා අනුබල දුන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් බවය. 59 හැවිරිදි ජමාල් කශොග්ජී, සල්මාන් කුමරුන්ගේ උදහසට ලක් වූයේ, කශොග්ජී මාධ්‍යවේදියකු ලෙස සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කිරීමය.

තමන්ට ලැබුණු සියලුම සාක්ෂි ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවලට ලබා දීමට තුර්කිය පියවර ගෙන ඇත. ජමාල් කශොග්ජී ඝාතනයට මොහොමද් බින් සල්මාන් කුමරු සම්බන්ධ වුවත්, සෞදියේ කිරුළ දරණ සල්මාන් රජු ඒ කිසිවක් දැන නොසිටි බව ද පරීක්ෂණවලින් තහවුරු වුණැයි තුර්කිය වැඩි දුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS