තුර්කි මැතිවරණ රැළියක් ප්‍රචණ්ඩ වෙයි



තුර්කියේ මැතිවරණ රැලියක් අතරතුර සිදුවුණු ගැටුමකින්, පුද්ගලයෝ 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 20 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

තුර්කි ජනාධිපතිවරණය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතය. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දෙගොන් දෙවැනි වරටත් ජනවරමක් හිමිකර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

ගැටුම හටගත්තේ දකුණු දිග තුර්කියේ, සුරුක් නගරයේ පැවැත්වුණු මැතිවරණ රැළියක් අතරතුරේය. මෙම නගරය කුර්දිවරුන් බහුතරයක් වෙසෙන නගරයකි.

නගරයේ මැතිවරණ රැලිය පැවැත්වූයේ පාලක ‘ඒ.කේ.පී.’ පක්ෂ සාමාජික ඊබ්‍රහීම් හලීල් යිල්ඩිස්ගේ ප්‍රධානත්වයෙනි. නගරයේ වීදි සංචාරය කරමින්, ජනතාව හමුවීමට යිල්ඩිස් කටයුතු කළේය.

නගරයේ දැඩිමතධාරී කුර්දිවරුන්ගෙන් යිල්ඩිස් ඇතුළු පක්ෂ සාමාජිකයන්ට දැඩි විරෝධයක් එල්ල වුණු බවත් පසුව එය දරුණු ගැටුමක් තෙක් දුරදිග ගිය බවත් තුර්කි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘ඒ.කේ.පී.’ පක්ෂ චෝදනා කර ඇත්තේ කුර්දි වැසියන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයන් සුරුක් නගර වැසියන් උසි ගැන්වීම කළ බවත් පසුව එය දරුණු ගැටුමක් තෙක් දුරදිග ගිය බවත්ය.

(රොයිටර්)

 


RECOMMEND POSTS