තුර්කි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්



විපක්ෂ මන්ත්‍රීවරයකු තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් විචේචනය කිරීමේ සිදුවීමක් මුල්කොට ගනිමින්, තුර්කි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය.

මේස පුටුවලට නගිමින්, මැති ඇමැතිවරුන් ගුටිබැට හුවමාරු කර ගන්නා අයුරුත් ඇතැමුන් ගුටි බැට හුවමාරුව නැවැත්වීමට උත්සාහ ගන්නා අයුරුත්, ඇතැමුන් බිය ඇද වැටෙන අයුරුත් සජීවීව, තුර්කි හෙබර්ටර්ක් රූපවාහිනී නාළිකාවෙන් විකාශය විය.

තුර්කි ජනාධිපති එර්දොවාන් විවේචනය කළේ රිපබ්ලිකන් ජනතා පක්ෂයේ එන්ජින් ඔස්කොක් මන්ත්‍රීවරයා ය. එම මන්ත්‍රීවරයා තුර්කි ජනාධිපතිවරයා විවේචනය කළේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීය.  ඒ, සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ රඳවා සිටින තුර්කි සොල්දාදුවන්, 33 දෙනකු සිරියානු රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියයෑම මුල්කොට ගනිමිනි.

තුර්කි ජනාධිපති එර්දොවාන් තුර්කි සෙබළුන් ගැන තැනීමක් නොකරන බවටත්, ඔහුගේ අභිමතය පරිදි තුර්කි හමුදා සිරියාවට යවා ඇති බවටත්, ජනපතිවරයා තුර්කි සෙබළුන්ට අගෞරව කරන බවටත් විපක්ෂ මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී චෝදනා නැගුවේය.

සිරියාව තුර්කියේ අසල්වැසියාය. සිරියානු ජනාධිපති අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා සන්නද්ධ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අවසන් බළකොටුව ලෙස සැලකෙන්නේ ඉඞ්ලිඞ් ය. තුර්කි රජය ඉඞ්ලිබ් පළාතේ තුර්කි හමුදා රඳවා ඇත.

අන්කාරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS