තුර්කි ජනපතිවරණය අද



විශේෂ ආරක්ෂාවක් මැද, තුර්කි ජනාධිපතිවරණය අද (24) පැවැත්වෙයි.

තුර්කි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2019 වසරේ නොවැම්බර් 3 වැනිදාය. කෙසේ නමුත් පාලක පක්ෂය වන ‘යුක්තිය සහ සංවර්ධනය’ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කළ ඉල්ලීමට සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට ජනාධිපති රිජෙප් තායිප් එර්දෙවොන් තීරණය කළේය. ජනපතිවරයා ඒ බව නිවේදනය කළේ පසුගිය අප්‍රේල් 18 වැනිදාය.

අද පැවැත්වෙන්නේ තුර්කි ජනාධිපතිවරණය පළමු අදියරය.

සියයට පනහකට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපේක්ෂකයන්ට නොහැකි වුවහොත් පමණක්, වැඩිම ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයන් දෙදෙනා අතර දෙවැනි වටයක් පැවැත්වෙනු ඇත. එය සිදුවීමට නියමිතව ඇත්තේ ලබන ජූලි 8 වැනිදාය.

64 හැවිරිදි තුර්කි ජනාධිපති එර්දෙවොන්ට අභියෝගයක් එල්ල වී ඇත්තේ, 54 හැවිරිදි මුහරීම් ඉන්සිගෙනි.

ජනපති එර්දෙවොන් සහභාගීවුණු යුක්තිය සහ සංවර්ධනය පක්ෂයේ අවසන් ජන රැලියත්, මුහරීම් ඉන්සිගේ රිපබ්ලිකන් පක්ෂයේ අවසන් ජන රැලියත් ඊයේ (23) ඉස්තාන්බුල් නුවරදී පැවැත්විණි.

එකිනෙකට දෙවැනි නොවන අයුරින් ජන රැලිවලට තුර්කි වැසියෝ දස දහස් ගණනික් එක් වී සිටි බව තුර්කි පුවත් සේවා වාර්තා කරයි. ‘යුක්තිය සහ සංවර්ධනය’ පක්ෂයේ මහා ජන රැලිය පැවැත්වූයේ ද විශේෂ ආරක්ෂාවක් යටතේය.

මුහරීම් ඉන්සි නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ තුර්කියේ ප්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය ලෙස සැලකෙයි.  දේශපාලනයට පිවිසීමට පෙර, මුහරීම් ඉන්සි ගුරුවරයකු ලෙස කටයුතු කළ අයෙකි.

අගමැතිවරයා ලෙසත් පසුව ජනාධිපතිවරයා ලෙසත් වසර 15 ක් තිස්සේ, රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් සහ යටිතල පහසුකම් නැංවීමට තමන් කළ මෙහෙවර අවසන් ජන රැලියේ දී සිහිපත් කිරීමට ජනාධිපති එර්දෙවොන්  අමතක නොකළේය.

එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස මහ හඬින් ප්‍රීතිඝෝෂා නගන්න වූහ. සෑම තුර්කි වැසියකුම ඡන්දය ප්‍රකාශ කළ යුතු බව ජනතාව අමතමින්, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එර්දොවන් පළමුවෙන් තුර්කි අගමැති ලෙස බලයට පත්වූයේ 2014 වසරේදීය. ජනපති ධුරයට වැඩි බලතල පැවැරීමට කටයුතු කිරීමෙන් පසු, එර්දොවාන් රටේ ජනාධිපති ධුරයට පත් විය.

මීට වසර දෙකකට පෙර තුර්කියේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. ඊට සම්බන්ධ වුණු තවත් 47 දෙනකු අත්අඩංගුවට ගැනීම ද ඊයේ (23) සිදුවිය.

තුර්කි හමුදාව 2016 වසරේ දී, හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ කළේ, ජනාධිපති එර්දෙවොන් බලයෙන් නෙරපා දැමීමේ අරමුණ ඇතිවය. කෙසේ නමුත් ජනතාව වීදි බැස හමුදාවට හරස් වුණු නිසා කුමන්ත්‍රණය අසාර්ථක විය.
තමා බලයෙන් නෙරපා දැමීමට කුමන්ත්‍රණය කරන්නේ ඇමෙරිකාවේ සිටින තුර්කි ආගමික නායක ෆෙතුල්ලා ගුලාන් බවට තුර්කි ජනපතිව එර්දෙවොන් චෝදනා නගයි. අත්අඩංගුවට ගත් 47 දෙනා, ෆෙතුල්ලා ගුලාන්ගේ අනුගාමිකයන් බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS