තුර්කි ජනපතිට දොස්



භූමි කම්පාවෙන් හානි වූ තුර්කි නගරවල සංචාරය කරමින්, විපතට පත්වූවන් ගැන සොයා බැලූ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට දෝෂාරෝපණ එල්ල විය.

ජනාධිපතිවරයාට දෝෂාරෝපණ එල්ල වූයේ භූමි කම්පාවෙන් විපතට පත්වූවන් සහ උන්හිටිතැන් අහිමිවූවන්ට ලබා දෙන ආධාර ක්‍රමවත් ආකාරයට බෙදා නොදීම සහ එම කටයුතු ඉතා මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙනි.
විපතට පත්වූවන් සහ උන්හිටිතැන් අහිමිවූවන්ට ආධාර ලබා දීමේ දී ප්‍රමාදවීම් සිදුවන බව ජනාධිපති එර්දොවාන් පිළිගත්තේය. උන්හිටිතැන් අහිමිවුණු තුර්කි වැසියන්ට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ ඔවුන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කඩිනමින් සිදු කරන බවය.

භූමි කම්පාවලින් විපතට පත් වී, බිමට සමතලා වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවුණු දරු දැරියන් මුදා ගන්නා හද කම්පා කරවන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

එවැනි එක් වීඩියෝවකින් දකින්න ලැබෙන්නේ සුන්බුන් අතරේ සිරවී සිටින 7 හැවිරිදි සිරියානු දැරියක, ඇගේ කුඩා සොහොයුරා සුන්බුන්වලින් ආරක්ෂා කර ගනිමින් ඔහු තුරුලු කරගෙන සිටින අයුරුය. දැරිය සහ ඇගේ සොහොයුරා වීඩියෝ කර ඇත්තේ ඔවුන් මුදා ගැනීමට ආ දිවි ගලවා ගැනීමේ කණ්ඩායමය.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බොහෝ දෙනකු මේ වනවිට ‘ෂයාර්’ කර අවසන්ය. ඒ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ද සිටී. මේ නිර්භීත දැරියට මාගේ හද පිරි ප්‍රණාමය යැයි සිය ටිවිටර් ගිණුම ඔස්සේ ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS