තුර්කි ජනපතිට ට්‍රම්ප් සහ පුටින් සුබ පතලා



ජනමත විමසුමෙන් පසු විධායක බලය හිමි කර ගැනීමට සමත් වුණු තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ට දුරකතන ඇමැතුම් දී සුබ පැතීමට ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

තුර්කිය නේටෝ රාජ්‍යයකි. ජනපති එර්ඩෙගොන් විධායක බලය ලබා ගෙන තවත් වසර 12 ක් බලයේ රැඳී සිටීමට කටයුතු කිරීම සෙසු නේටෝ රටවලත් බටහිර රටවලත් දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා නිවේදනයක් නිකුත් කරමින් තුර්කි ජනපති එර්ඩෙගොන්ට චෝදනා කර තිබුණේ තුර්කි වැසියන්ගේ මූලික නිදහස උල්ලංගනය කිරීමට ජනපති එර්ඩෙගොන් විධායක බලය ලබා ගෙන සිය බලතල පුළුල් කර ගත් බවය.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව එසේ ප්‍රකාශයක් කර තිබියදී, ඊට විරුද්ධව යමින්, ජනපති ට්‍රම්ප් තුර්කි ජනපතිට සුබ පැතීම පරස්පර විරෝධී සිදුවීමක් විය.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප්, තුර්කි ජනපති එර්ඩෙගොන්ට සුබ පතමින් කියා සිටියේ කලාපීය ආරක්ෂාව තහවුරු කර ගැනීමට තුර්කියෙන් ලැබෙන සහාය වැදගත් බවත්, ඊට එර්ඩෙගොන්ගෙන් ලැබෙන අනුග්‍රහය ඉතා වටිනා බවත්ය.

කලාපයේ තම මිතුරා තුර්කිය බවත් තුර්කි ජනපති එර්ඩෙගොන් එරටට ශක්තිමත් නායකයකු බවත් රුසියානු ජනාධිපති පුටින් පවසා ඇත. සිරියාවට සාමය උදා කරදීමට මැදිහත් වී කටයුතු කරන්නේ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනපති එර්ඩෙගොන්ය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS